
චංචලාට..... මොකද වෙන්නේ කියලා ,මගේ අනිත් යහළුවන් වගේම, බ්ලොග් යහලුවනුත්නිතරම අහනවා. හරි නම් ඉතිං අහන්න ඕනේ...එහෙම නෙවෙයි. '' මට මොකද වෙන්නේ කියලයි ".... ඇයි ඉතිං ''පිළිබද සිතක් " ඇතිවෙලා තියෙන්නේ මටනේ. තාම එයා ගැන, මට මොනවත්ම කියන්න බෑ. එයා කෙලින්ම නොපෙන්නුවත්, මාත් එක්ක කතා කරන්න කැමැත්තෙන් ඉන්න බව නම් ෂුවර්. එත්..... ඒ හේතුවම, එයා මට කැමැතියි කියලා තීරණයකට එන්න තරම් ප්‍රබල සාධකයකුත් නෙමෙයිනේ (මට නම් ඒ ටිකත් , යන්තම් හිත හදාගන්න ප්‍රමාණවත්). මෙච්චර ලස්සන කෙල්ලෙක්ට, කොල්ලෙක් නැති වෙන්න පුළුවන්ද.. ඒ ගැන හිතට එන හැම වාරෙම, බලෙන්ම එම සිතුවිල්ල යටපත් කර ගන්නවා ඇරෙන්න, මට වෙන කරන්න පුලුවන් දෙයක් නෑ. එයා ගාව තියෙන්නේ, හරිම සුන්දර දඟකාර කමක්. කතාව, හිනාව ගමන-බිමන මොනතරම් ලස්සනයි ද?
මොන ඇඳුම ඇන්දත් ඒ රූප ශෝභාව එන්න එන්නම වැඩි කරනවා. ඉස්සර මං.. ඈතට වෙලා මේ රුව දිහා මොන තරම් නම්, හොරෙන් බලං ඉන්නවද? Train එකේ දී ඉඳලා හිටලා හරි, මගේ හිත් අහසට පායපු මේ සඳ වත කොයි තරම් මිහිරියාවක්.. මගේ හිතට එක් කලාද...? වචනයක් හෝ ඇය සමඟ දොඩමලු වන්නට මා කොතෙක් නම් පෙරුම් පිරුවාද... ඒ සියල්ල ජයගෙන, මට දැන්.... ඇය ගාව හිඳින්නට, කතාකරන්නට අවසර ඇත. ඒ හැම....... මා මහත් කැපකිරීම් සමුදායක් සිදුකොට ලබාගත් ඒවාය.
විටෙක මට, මින් එහාට කිසිවක් නොඅසා මිතුරු දමින් පමණක් ඇය හා වෙලී සිටින්නට ද සිතේ. මාගේ යෝජනාව ඇය කෙසේ පිළි ගනීදැයි තවමත් මට සිතා ගත නොහැකි නිසා... මට එසේ සිතනවා වන්නට ද පුලුවන. ඇය සතු මේ ලස්සන.. එක් වරක් නොව දහස් වරක් ... මා පසුපසට ඇද දමන්නට සමත්ව ඇත. මෙවැන්නක් අසන්නට ගොස්, මට ඇයව මුලු මනින්ම අහිමි වේ යැයි සිතෙන...අනියත බියකින් ද නිබඳ මා පීඩාවට පත්කරයි. දැනටමත් ඇයට පෙම් වතෙක් සිටී නම් ......!
අනේ මන්දා ... හැමදාම මෙහෙම හිත හිතා ඉඳලා දන්නෙම නැතුව නින්ද යනවා.
අසනීප වෙලා ඉඳලා, නදී කිව්ව විදියට, එළඹුනු සදුදා එයා ආවා. මම බලාපොරොත්තු පුරෝගනයි හවස train එකට නැග්ගේ. අහන්න ඕන දේවල් එකින් එක, මම හිතේ පිළිවෙලින් සටහන් කර ගත්තා. ඒ ලස්සන වත දකින්න මගේ නෙතු පාරමී පුරනවා. ඇත්තටම... මම මොනතරම් ඇයට ආදරය කරනවාද?. ඇය දුටුවිට මගේ හදවත පිබිදෙන විදිය කොයිතරම් අපූරුද.. හැම නහරයක් පුරාම නැවුම් ලේ දහරක් ගලනවා වගේ උණුසුම් හැඟුමකින් හිතම පිරෙනවා. තව කෙනෙක්ට ඇහෙන තරමට, මගේ හදවතේ ස්පන්දනය තීව්‍ර වෙනවා කියලා මට හිතෙනවා.
එදා.....මම ලඟ සිටි කාන්තාව, කලින් ස්ටේෂන් එකෙන් බැහැපු නිසා, මට ඒ සීට් එකේ වාඩි නොවී ඉන්න බැරි උනා. ඊලඟ ස්ටේෂන් එකෙන් චංචලා නැග්ගා... යාලුවොත් එක්ක. හිටගෙන ඉන්න සෙනග නිසා එයාලට මාව පෙනුන් නෑ. මම දැක්කා චංචලා එයාගෙ ලොකු ඇස් දෙක කරකවලා, සෙනග පීරමින් කාවදෝ හොයනවා. මම හිතුවා.... සද්ද නැතුව, නොදැක්කා වගේ ඉන්නවා කියලා. උවමනාවක් තියේ නම් හොයාගෙන ඒවිනේ.
හරියට හරි... තල්ලු වෙවී ඇවිත්, එයාල කොහොම හරි, මගේ සීට් එක ලඟ නතර උනා. තවත් මෙහෙම ඉන්න බැහැ. අහම්බෙන් දකිනවා වගේ මම එයාල දිහා බැලුවා. එතකොට අර ලස්සන හිනාව චංචලාගෙ මුණේ ඇදුනා.
''චංචලාට තාම හොඳටම හොඳ නෑ. පුළුවන් නම් සීට් එක මෙයාට දෙනවද" .... නදී මට කිව්වා.
කියන්න වචන නෑ..... නැගිට්ටා නෙමෙයි මට ඉබේම නැගිටුනා.
" අනේ කමක් නෑ. මට හිටගෙන යන්න පුළුවන්. ඔයා වාඩි වෙන්න"......... චංචලා එහෙම කියුවා
''ආ .. ඒකට කමක් නෑ. ඔයා වාඩි වෙන්න. මම ලඟ බහිනවා නේ ".
මම එහෙම කියලා.... එයා වාඩි උනාම ඒ ලඟින්ම හිටගත්තා. ඇත්තටම මට ලොකු සතුටක් දැනුනා. චංචලා වෙනුවෙන් එයා දැනුවත්ව, මට මේ වගේ උදව්වක්වත් කරන්න ලැබුනු පලවෙනි අවස්ථාව මේක හින්දා. මොකද මෙතෙක්... මම එයා වෙනුවෙන් කරපු කැප කිරීම් කිසිවක්, එයා තාම දන්නෙත් නෑනේ.
''ඔයාට දැන් කොහොමද චංචලා...." මම ඒක අහපු විදිය හැගීම් බර වැඩිදෝ කියලා මට හිතුනේ එයා මං දිහා බලන් ඉන්න විදිය දැක්කහම. ඒ ඇස් දිහා බලන්නෙ නැතුව, මං අහක බලා ගත්තා ඉක්මනින්ම ... එයාට මගේ වෙනසක් තේරුනොත් කියලා.
ඉතිං එදා......... මම සිතු සේ එයා එක්ක කතා කලා. මට එයාගෙ phone no. එක දැනගන්න තිබුනෙ ලොකු උවමනාවක් . ඒ වෙනුවෙන්, කාලයක් තිස්සෙ මම මඟ බලන් හිටියා. දැන් තමයි ඒකට හොඳම වෙලාව. අසනීපය ගැන දැනගන්න පිටින් දාලා, මම එයාගෙන් no. එක ඉල්ලුවා. එයා මගේ phone එකට no. එක දාලම දුන්නා. ඒත්.. ....ඒක, යාළුවෙක් තවත් යාළුවෙක්ගෙන් no. එක ඉල්ල ගන්න විදියට...... කිසිම අමුත්තක් නොහිතෙන්න කරන්නත්, මම වග බලා ගත්තා.
අම්මෝ දැන් නම් මාර සතුටුයි.. දැන් නම් 25% විතර ගොඩ කියලයි මට හිතෙන්නේ.
no. එක ලැබුනු දවසේ ඉඳන් කතා කරන්නමයි හිත. එදා කීප සැරයක්ම කෝල් කරන්න හිතුනත් මම අමාරුවෙන් ඒ ආසාව මැඩ ගත්තා. ඊට පස්සෙ දවස් 2 ක් යනකම් මට එයාව හමුවුනේ නෑ. හේතුව, මට මේ දවස් වල වැඩ වැඩි හන්දා, යන්න වෙන්නේ පරක්කු වෙලා නිසා. නොදැක දවස් දෙක තුනක් පහු උනා. එදා රෑ නම් මට ඉන්නම බැරි උනා. හෙමිට කාමරේට රිංගලා.. කට හඬ එහෙම හදාගෙන... රැල් බුරුල් ඇරලා..... අහන්න හොඳ බොරුවකුත් ගොතාගෙන... phone එකට වැඳලා...... කෝල් කරා.
රිං වෙනවා.... ඊට වඩා සද්දෙන් මගේ හෘදය වස්තුව ලබ්... ඩබ් ගානවා. දැන්වත් answer කරයි ද.....? ම්හ්... නෑ.
මම තව පාරක් ගත්තා. ඒත් එහෙම්ම මයි. රිං වෙලා..... රිං වෙලා....... කෝල් එක කට් වුනා.
දුකයි කියන්නෙ අම්බානක දුකයි. මට හිතා ගන්න බැරි උනා, ඇයි මෙහෙම උනේ කියලා. එයා දන්නවා මේ no. එක මගේ තමයි කියලා. මොකද එයාගෙ no. එක දීපු වෙලාවෙම, මම එයාගෙ phone එකටත් රිං කල හන්දා. ඒත් එයා, මගේ නම save කරලා නැත්නම් .... කෝල් කලේ මම කියලා දන්නේ නෑ. නොදන්න no. එකක් හින්දා, එයා නොගත්තා වෙන්නත් පුළුවන්.
ඕං.... ඔය වගේ එක එක දේවල් හිතලා, වෙච්ච දේ... මම සාධාරනීකරණය කරන්න... උත්සාහ කරා. " මට, එයා ගැන තියෙන උනන්දුව........ මං ගැන, එයාට නැතුව ඇති " කියන සිතුවිල්ලට වඩා , අර විදියට හිතලා හිත හදාගන්නයි මට උවමනා උනේ.
එක අතකට... මේ ගෑනු ඇත්තටම ප්‍රේහේලිකාවක් ම තමයි. කොහොම තේරුම් ගන්නද මන්දා. අපි..... පස්සෙන් වැඳ , වැඳ එන තරමටම තමයි, එයාලා කැමති. මෙයත් හදන්නෙ මට කියලා ඒ පාට් එක ඇට් කරගන්න වගේ. වෙලාවකට........ මටම හිනා යනවා මට වෙච්ච දේ ගැන.
love sick එකෙත් හැටි......
ආ.... තව දෙයක් කියන්න බැරි උනානේ. උදේටයි, හවසටයි train එකේනෙ මම ගියේ. ඒත් චංචලා උදේට බස් එකේ යනව කියල දැනගත්තහම, මටත් ඕන උනා බස් එකේ යන්න. එතකොට උදෙයි, හවසයි දෙකේම දකින්න පුළුවන් නෙ. ඒත්.... එයා යන බස් එක මොකක්ද කියලා දැනගන්න එක තමයි ප්‍රශ්නේ. මොකද... මම අහන්න කියලයැ. නිකන්වත් ඇහුවොත්...... ''ඇයි අහන්නෙ කියලා''..... හැංගෙන්න බිත්තර කටුවක් වත් හොයාගන්න වෙයි ... වෙන ලැජ්ජාවට. කමක් නෑ, ඕන දෙයක් උනාදෙන් කියලා, මම එයාලගෙ office time එකට සෙට් වෙන විදියට හා හා පුරා කියලා 7.30 ට යන බස් එකට නැග්ගා. අම්මෝ කට කපලා සෙනඟ. මං ඉතිං.. ඉස්සි ඉස්සී බස් එක සිසාරා බැලුවත්, එයා නම් පේන්න නෑ. ඒත් නදීයි.. තව මම නොදන්න එයාගෙ යාළුවෙකුයි නම් හිටියා. මට එයාල ලඟට යන්න බැරි තරමට සෙනඟ හන්දා, මම -ගුඩ් මෝනින්- කියලා, ඈත ඉදලා හිනා උනා.
එදාට එච්චරයි.
ඒත්...... මම ගේම් එක අතෑරීයේ නෑ. ඊලඟ දවසෙත් නැග්ගා, ඊට ටිකක් පහුවෙලා 7.50 ට යන බස් එකට. අදත් නෑ වගේ. බලාපොරොත්තු සේරම හේදිලා යනවා වගේ මට දැනුනා. මං ලඟම තිබුන සීට් එකේ වාඩි උනා.. දුකටම. ඒ අතරෙදි මට ආවා නියම අදහසක්. ගමනාන්තයටම ටිකට් අරගෙන තිබුනත්.... මම බැස්සා ඉස්සරහ හෝල්ට් එකෙන්. චංචලා ඊලඟ බස් එකේ හරි ආවොත්, හම්බවෙයිනෙ කියලා හිතාගෙන. උදේ පාන්දර විනාඩි 20 ක් 25 ක් අතර මඟ තියෙන, හෝල්ට් එකක චාටර් වෙනව කියන්නේ සුළු පටු දෙයක් ද.. ඒ අතරෙ දන්න අදුනන කෙනෙක් දැක්කොත් මල ජූලියයි. අපේ අයියා කාරයා රස්සාවට යන්නෙත් මේ පාරෙන්. මං හෝල්ට් එක ලඟ, ලයිට් කණුවට මුවාවෙලා ෂේප් එකේ උන්නා.
බස් එක ආවා. මාත් නැග්ගා. හිතට දැනුනු සතුට කියන්න බෑ. එයා ඉන්නවා.... ඉස්සරහ සීට් එකක වාඩි වෙලා. මම කලේ නොදැක්ක ගානට ඉස්සරහටම ගිහින්, එයා හිටිය පැත්තෙ සීට් එකක් ලඟ හිට ගන්න එක. ජනේලයෙන් එහා බලාගෙන ගියත්, මම දැක්කා... ටික වෙලාවකින් එයා මාව දකිනවා. හොරෙන් බලන් හිටිය උනත්, එයා පුදුමයෙන් ඇස් ලොකු කරගෙන මං දිහා බලපු විදිය.... මට තාම මතකයි. ඒ...ත් මම හිත තද කරගෙනම නොදැක්කා වගේ හිටියා.
මම එදා එහෙම කලේ............... මම එයාව follow කලා කියන එක, නොදැනෙන්නයි.
ඔහොම ටික දවසක් යනකොට, මට... එයා හරියටම යන බස් එක හොයා ගන්න පුළුවන් උනා. දැන් ඉතිං.. හවසට වගේම උදේටත්, කතා කර කර යන්න.... මට වාසනාව උදාවෙලා. ඒත්, ඔය බස් එක...හරියටම හොයා ගන්නකම්..... මං කාපු චාටර් එක දන්නෙ මායි, උඩ ඉන්න දෙවියොයි විතරයි. බස් කීයක නම් නැගලා. හෝල්ට් කීයක නම් බැහැලා තියෙනවද? සමහර දවසට එකම හෝල්ට් එකේ බහින්න බැරි හින්දා, ඊට ඉස්සරහ හරි.. පස්සෙ හරි තියෙන එකක, බහිනවා. සමහර දවසට.. මගදි නගින හෝල්ට් එකකදි එයා ඉන්න බස් එක අහුවෙනවා. ඒ වෙලාවට මෙයා ඇස් දෙකත් ලොකු කරන් මගෙන් අහනවා ''ඔයා කොහොමද මෙතෙනනින් නගින්නෙ කියලා'' එක දවසක, මම කියනවා....... මෙතනිනුත් මට යන්න පුළුවන්, බස් එකක් තියෙනවා. අද මං එනකොට ඒක ගිහින්නේ. ඒ හන්දා මේ බස් එකට නැග්ගා....කියලා.
එකම කතාව, හෝල්ට් කීපයකදි කියන්න බැරි හින්දා, තව දවසක කියනවා..... මම ආපු බස් එක කැඩුනා.............. යාළුවෙක් හම්බ වෙන්න ආවා................ වගේ පට්ටපල් බොරැ ටිකක්. පස්සෙ ..පස්සේ ... චංචලා එහෙම අහනකොට, මම කලේ,........ ලාවට පල් හිනාවක් එහෙම දාගෙන ''දන්නෙ නැද්ද ඉතිං... '' කියලා මග අරින එක. එතකොට ... එයාට කැමති දෙයක් හිතාගන්නේ නැතෑ.
ඒ වෙලාවට නදීයි... යාලුවො ටිකයි .. මගේ හොරයක් අල්ල ගත්තා වගේ, හිනා වෙනවා. මටත් මොකෝ මාත් චංචලාට පොඩ්ඩක් රිද්දන්නත් එක්ක ඒ විදියටම ඉන්නවා. එයාගේ මූනේ හිනාව අතුරුදහන් උනා...චංචලා ඒ බව නොපෙන්වන්න උත්සාහ කලත්... මම ඒක දැක්කා...එහෙම වෙනකොට මට දැනෙන සතුට...කොහොම වදන් වලට පෙරලන්නද.....හිහ්..හිහ්..හී...
ඔන්න ඔහොම... කට්ටක් කාලා, පැයක් හමාරක් පහුවෙලා තමයි, මගේ ව්‍යාපාරික ස්ථානයට ගොඩ උනේ...පහුගිය දවස් ටිකේම. මයි කාර්... මයි පැට්‍රෝල් හින්දම හොඳයි.
ඒ විතරක් ද?.....බස් ගාස්තුව 1: 3 අනුපාතයට ඉහල ගියා. ඇයි... හෝල්ට් තුනක වත් අඩුම ගානෙ බහිනවා, නගිනවා නේ.
සේරමත් හරි හැංගිමුත්තන් සෙල්ලම තමයි.... නියම. දන්න කියන අයගෙන් බේරෙන්න, දාපු ජිල්මාට් ටික කියලා වැඩක් නෑ. දවස් දෙකක්ම යාළුවෝ දෙන්නෙක්ට මාට්ටු උනා. බස් එක කැඩුනා කියලා ෂේප් වෙන්නයි හැදුවේ. එකෙක් අහනවා '' කෝ උඹ විතරයි නේ ඉන්නෙ ... බස් එකේ ආපු අනිත් අය කෝ '' කියලා.
Ashik නේද එතකොට.
නිල් අහසේ රැට පායන තරු......උදේටත්..... මට ඒ විදියටම පෙනුනා ...ඒ වෙලාවෙ නම්.
ඕං...... ඔය විදියට තමයි, දන්න සෙල්ලම් සේරම දාලා .... අති දැවන්ත මෙහෙයුමකට පස්සේ, හවසට වගේම උදේටත්, එයාව දකින්න... කතා කරන්න.. මං, මග පාදා ගත්තේ.
මං හරිම ආසාවකින් ඉන්නේ, චංචලා...කවදහරි මට.... බහ.... දුන්න දවසක, මම මේ.... කාපු, කටු ටික එයාට කියන්න. එතකොට එයා, ලස්සන ඇස්දෙක පුංචි කරලා හිනාවෙන විදිය...මේ දැනුත්, මට මැවිලා පේනවා... ඇත්තමයි.