Friday, February 26, 2010

කොතෑන නවතී ද - II කොටස


මම කල්පනා කලා දවස් ගානක්ම. අගක් මුලක් පේන තෙක් මානයකවත් නැති දෙයක් මොකට බ්ලොග් එකට දැම්මද කියල. දිගක් පලලක් නොදැන නව කතාවක් කියලා ලේබලයකුත් දාගෙන මම වැටිච්ච අමාරුවක තරම. මොන තරම් බලාපොරොත්තු ගොන්නක් හිතේ පුරෝගෙනද..මේ දේවතා එළිය දකින්න, මම වලිකන්නේ. මොකෝ හැමදාම ලියන්නද.. අදත් සුපුරුදු විදියට චාටර් උනා කියලා. ඇත්ත ඒක උනත්, කියවන අයට ඒක බෝරින් කියලා මම නොදන්නවැයි. ඒකයි පහුගිය දවස් ටිකේ හාවක් හූවක් නැතුව හිටියේ.

ඒත්..මම ඉතිං.. එක් සිතින්.. එක් හදින් ..ආදරෙන්.. සෙනෙහසින්.. සීන් එකට එන්ටර් වෙලා හිටපු හන්දා වෙන්නැති.................................මේන් වෙච්ච දේ...

පහුගිය දවස් ගැන කිව්වොත්, එයාව ම‍ට හමු නූනම නෙවෙයි. හාවා හඳ දකිනවා වගේ.. දවස් ගානකටම, 1ක දවසක්,2ක් තමයි හමුවුනේ. හැමදාම මග බලනවා..හරියට දන්න අදුනන, වෙන කවුරුවත් නැති එකෙක් වගේ. එයාවම හොයනවා. නොදැක්ක දවසට, ඇත්තමයි මට මහ ලොතු දුකක් දැනෙනවා. ඔයාල හිනා වේවි.. බලන් ඉඳලා ඉඳලා, ආපු නැති උනාම..මගේ ඇස් වලට කඳුළු ආපු දවස් පවා තිබුනා. ඔන්න ඉතිං දැන් කියන්නෙපා..මු නං මාර හෝතම්බුවෙක්..අපටත් එක්ක නෝන්ඩියි...වැඩේ සෙට් කර ගන්නත් කලින්ම , මූ අඬන්නත් පටන් අරන් කියලා. ඇට මස් වලට දැනෙන, හිත හිරි වට්ටන..රූප‍යකට ආදරය හිතුනාම, අඬන එකත් මහ කජ්ජක්ද කියලා සහෘද හැමෝටම තේරේවි..හිහ්..හිහ්..හී.

ඉතිං කොහොමින් කොහොම හරි, මේ දේවදුතිකාවට මගේ අසහනය දැන් ටිකක් විතර තේරිලා. මුලදි ගනන් උස්සලා හිටියත් දැන් නම් හිත් පොජ්ජ මං දිහාට මන්දු කොරනවා වගේ. මම එයා ගැන උනන්දුයි කියලා, බොහොම වැදගත් විදියට පෙන්නන්නනේ මට ඕන වෙලා තිබුනේ. ඒ හන්දා ..කොල්ලා දන්න සෙල්ලං සේරම දැම්මා, බොහෝම ඩීසන්ට් එකට. ඒවායේ ප්‍රථිළුල නිසා තමයි, දැන් පොඩ්ඩක් මේ පැත්ත බලන්නෙවත්. ඒත් මූණ ක‍ටේ හිනාවක් නම් නෑ.. යාන්තමට, ලොකු ඇස් දෙක කරකවලා බලලා, අහක බලා ගන්නවා. හපෝ..ඔයත් මැදයි... කාපු කට්ටේ හැටියටයි.. විඳපු දුකේ තරමටයි.

ඔහොම කිව්වට මට වෙලාවකට හිතෙනවා, ඉලව් ලව් එක පැත්තකින් තියලා උස්සලා පොලොවෙ ගහන්නත්. ඇයි වදේ..මගෙත් එක්ක තමයි මේකිට ඩිංගක් හිනා වෙන්න බැරි. යාළුවො එක්ක කතාවයි, හිනාවයි ඉවරයක් නෑ. ( හිනාව නම් මාරම හැඩයි අප්පා..කියලා වැඩක් නෑ..ම්ම්ම්හ්..) මම මේකි මත්තෙම මැරෙන්න හදනවා. එයාට ගානක්වත් නෑ. පුදුම ආඩම්බර කමක්නේ යකෝ තියෙන්නේ. ඒ හන්දමයි මම, මේ අංගනාව කොහොම හරි දා ගන්න ට්‍රයි කරන්නේ. මට ඔය, ලොකුකම බස්සන්න තියෙන්නෙත්, පුදුම උනක්.
ඇත්තම කිව්වොත් මාත් ආස නෑ ඔය සිල්ලර කෑලි වලට. කොච්චර මඩ නා ගත්තත් මොකද.. නෙලා ගන්නේ සුදු නෙළුම් මලක් නම්..!!!

මෙහෙම හිත හිතා ඉන්න අතරෙදි තමයි දවස උදා වුනේ.

මම දන්නවා, අද නම් හොඳටම පරක්කූයි කියලා. ඒත් තියෙන වැඩ ටික බාගෙට කරලා යන්නයෑ. මොන දේ උනත්, කරන දේ අතරමග දාලා යන කෙනෙක් නෙවෙයි මම. සේරම වැඩ ටික සෙට්ල් කරලා දනි පණි ගාලා බැස්සා එලියට. අද නම් Train එක අල්ලන්න වෙන්නේ නෑ. එහෙම උනොත් බස් එකේවත් යනවා.

අම්මෝ..එතකොටම පපුව හෝස් ගාලා පත්තූ උනා. ඒ කියන්නේ, මගේ සුරංගනාව දකින්න වෙන්නෙ නෑ කියන එක නේද..? ඒත් වෙන මොනා කරන්න ද? දැන් train එක ගිහින් විනාඩි 7කටත් වැඩියි.

දුකයි........ඒත් හිත හදා ගන්නම වෙනවා. ඇත්තම කිව්වොත්, මට බස් එකේ යනවා නම්, කලින් ගෙදර යන්න පුළුවන්. වෙනසකටත් එක්කයි, ඉඳලා හිටලා train එකේ ගියේ. එහෙම ගිය දවසක අහම්බෙන් නේ, මට අරයව දකින්න ලැබුනේ. එදා ඉඳන් මම යන්නෙම train එකේ, මේ මානවිකාව දකින්න ඕන හන්දා. ඕං අද තමයි, මාස ගානකින් ආයෙත් මම බස් එකේ යන්නේ.

ඒකෙත් සෙනඟ පුරෝලා එකයි. නෝ සීට්. හරිම මහන්සියි, දුවලත් නෙ ආවේ. එයා අද train එකේ හිටියද දන්නෑ. අනිවාර්යෙන් ඉන්න ඇති. මට උනොත් වෙන්නේ එහෙමනේ. හිතා ගන්න පුලුවන් නේද.. තියෙන
" ලක් " එක. තනි අන්ඩෙන් අමාරුවෙන් හිටගෙන හිටියේ. හිතේ දුක වැඩි කමට ද මන්දා, ඇ‍‍ඟම රිදෙනවා. සිට් එකක් ලැබුනා නම්, ඇස් දෙක පියාගෙන මනෝ පාරක්වත් දාගෙන යන්න තිබුනා. ෂෙහ්.. ඒකත් නෑනේ.

එයා train එකට නඟින හරියෙදි මට ආයෙමත් මතක් වුනා. එතන station එක පහුවුන ගමන්මයි, බස් හෝල්ට් එක තියෙන්නේ. නැති බව හොඳටම දන්න හින්දා බැලුවෙ නෑ, ඒ දිහා නිකන්වත්. බස් එක ඇද්දුවා. මං කල්පනා සයුරට වැටුනා, ආයෙමත්.

බ්රාස්..ස්..ස්...

ගහපු බ්රේක් පාරට මම, විසි වුනා සීට් 2ක් ඉස්සරහට. අල්ලගෙන නෙවෙයිද මන්දා ඉඳලා තියෙන්නේ. වස නෝනඩිය. ඒ අස්සේ මට ඇහුනා දෙන්නෙක්,තුන් දෙනෙක් ඩ්‍රයිවර්ගෙ මව් පාර්ශවය මතක් කරනවා. මං අතින් කාගෙ හරි කකුල පෑගුනා වගේ මතකයි. සොරි කියන්නත් මතක නැති උනා. ආචාරශීලි වෙන්නත් එපැයි..

" සොරි " කියාගෙන මම හැරුනා ලඟ හිටිය කාන්තාව දිහාවට.

මගේ ඇස් නිලංකාර වෙලා ගියා. දෙයියනේ මේ අර වරංගනාව නේද? මෙයා කොහොමද බස් එකේ ඉන්නේ.කොතනින්ද නැග්ගේ. ප්‍රශ්න කෝටියයි. පුදුමේ පලාගෙන හීන් සතුටක් මෝදු උනා. හිතුව තරම්ම, මම අවාසනාවන්ත නෑ, එහෙනම්. " අද දෙවියන් මාගේ මූණ බැලුවා....... කාලෙකට පස්සේ..." මට සිංදුව කෑ ගහලා කියන්න හිතුනා, ආපු ජොලියට.

මම මේ පිස්සු කෙලිනවා. සොරි කිව්වට, කිසිම රිප්ලයි එකක් දුන්නෙ නෑ නේද..මේකි. ඒක මතක් උනාම සතුටු කන්ද එහෙන් පිටින්ම බිමට සමතලා උනා.

ඒ අස්සේ, අපි ලඟ තිබුන සීට් එකේ හිටපු දෙන්නම, බහින්න නැගිට්ටා. අරයා ගිහින් වාඩි උනා.
වාඩි වෙනවද නෑද්ද..මට හිතා ගන්න බෑ. "මේ වගේ දවසක් ආයෙ එන්නෙ නෑ..වාඩිවෙයන් යකෝ..!!"මගේ හිත මර ලතෝනි දෙනවා. වෙන දෙයක් උනාදෙන්. ලඟ හිටිය එකාවත් පෙරලගෙන, මමත් වාඩි උනා.

මම එයා ලඟ.....එයා මගේ ලඟ. හිනෙකින්වත් හිතුවද මේ වගේ චාන්ස් එකක් ලැබෙයි කියලා. මගේ පපුව ඩග්..ඩිග් ගානවා. එයාට නම් ගානක්වත් නෑ. නිකංවත් මේ පැත්ත බලන්නෑ. ජනේ‍ලෙන්, එහා පැත්ත බලාගෙන යන හැටි විතරක්. ඇයි යකෝ.... පුදුම ඝන කමක් නේ, මෙයාට තියෙන්නේ. කොහොමද මෙයාලා මේ තරම් ඉවසීම පුරුදු කරලා තියෙන්නේ. අපට තමයි දෙයක් හිතේ තද කරගෙන, ඉන්න බැරි.
මෙයා හොඳටම දන්නවා, මම ට්‍රයි කියලා. ඒත් ගානක් නැතුව ඉන්න හැටි.

මොනාද.. මම මේ හිතන විකාර. මේ.. ඕවා හිත හිත ඉන්න ඕන වෙලාවක්ද..? කොහොම හරි මෙයා එක්ක කතාවට සෙට් වෙන විදිහක් හිතන්නෙ නැතුව.. මගුලක් කරනවා.

මොනවා අහන්නද..දැනටමත් අම්බානක නෝන්ඩි වෙලා නේ, ඉන්නේ. ඒත් දෙයියනේ මේ වගේ අවස්ථාවක් ආයේ කවදා උදා වෙයිද කවුද දන්නේ. වෙන දෙයක් උනාදෙන්. ගත්තා ඇඟ පුරාම තියෙන පුරුෂ ධෛර්ය හිතට නෙවෙයි..කටට.

" Excuse me.. .. ඔයා High School එකේ ද... "

එයා හැරුනා මම දිහාට.................. " නෑ "

ඔරවලා වගේ, එහෙම කියලා ආපහු හැරුනා අනිත් පැත්තට. මට එලෝ පොල් පෙනුනා. ඇරගත්ත කට වහගන්නත් අමතක වුනා. ලැජ්ජාවේ බෑ. කවුරු හරි මේක දැක්කාවත්ද.? අනේ දෙයියනේ දැං ඉතිං සේරම ඉවරයි නේද..

මට නං බෑ, ආයෙම මෙයාට මූණ දෙන්න. මට තිබුනා තව ටිකක් ඉවසන්න. මම ඇහුවේ ගොන් ප්‍රශ්නයක්ද..මෙතනින් නැගිටලා යන්නමයි හිත. ලැජ්ජාවයි..දුකයි...අනේ මන්දා...........

"මම වගේ, ඔයාගේ යාළුවෙක් ඉන්නවද High School එකේ.. "
මෙන්න බොලේ මෙයා කතා කරනවා. මට වචනත් නෑ.

"ඔව්..ඔව්.. " එච්චරයි මට කියවුනේ.

" මම හිතුවා......... ඔයාට වරදින්න ඇති කියලා "

" ඔව්..මගේ ඉස්කෝලේ යාළුවෙක් කියලයි මම රැවටුනේ ..... I am sorry "
( එයා ඒ විදියට හිතපු එක හොඳයි. මාත් ඒ විදිහටම act කරා.)

" ආ ඒකට කමක් නෑ " එහෙම කියලා, එයා ලස්සනට හිනා උනා.

" අද ඇයි බස් එකේ.. ඔයා train එකේ නේද යන්නේ....මම කිප දවසක් ඔයාව train එකේදි දැකලා තියෙනවා."
ඔය පැන්නේ බලළා මල්ලෙන් එලියට. දැන් මට ෂුවර් මෙයත් මං ගැන interest කියලා. සමහර විට මටත් වඩා මං ගැන හොයලා වගේ....

" ඔව්. අද පොඩ්ඩක් ලේට් වුනා. මාත් ඔයාව දැකලා තියෙනවා. පයාගලින් නේද නගින්නේ....."

මේ විදිහට මම බහිනකල්, අපි කතා කර කර ගියා. වෙලාව යනවා දැනුනේවත් නෑ. වෙනදා මේ දුර ගෙවා ගන්නේ මොන තරම් අමාරුවෙන්ද..? තව ඩිංගෙන්, මට බහින තැනත් අමතක වෙනවා, එයා මතක් කලේ නැත්නම්. කතා කරා කිව්වට, බොහොම සාමාන්‍ය දේවල් තමයි. එයාට කතා කරන්න දිලා, මම කලේ අහගෙන ඉන්න එක. ඒ අතරෙදි, එයාගෙ ලස්සන මූණ රසවිඳින්නත් මම අමතක කලේ නෑ.

ආ.....මේකත් කියන්න එපැයි. මම බහින්න, ඔන්න මෙන්න කියලා තියෙද්දි, එයා බහින තැනයි...එයාගේ නමයි..අහගත්තා. මම හිතුවා කියන එකක් නැති වෙයිද කියලත්. අනේ...කිසි වදයක් නොදී ඔය කිව්වේ යස අගේට. පහුගිය දවස් ටිකේ දීපු වදවල තරමට එයාටම දුක ඇති...." ඔය මැඩෙව්වා මැදෑ කියලා "

මොකක්ද දන්නවද නම.......චංචලා.........ලස්සන නමක් නේද..එයා වගේම නමත් ලස්සනයි..මටනම්.

" ඔයා බහිනවා නේද...බුදු සරණයි..ගුඩ් නයිට් " එයා කිව්වා.
අනේ ... මට හරිම ආදරයක් වගේම , ලොකු පැහැදිමකුත් ඇති උනා එයා ගැන.

" අපි ආයෙම හමු වෙමු.... බුදු සරණයි..ගුඩ් නයිට්. පරෙස්සමින් යන්න "

මට මතකයි, එයා හිනා වෙලා ඔළුව වැනුවා. මම බස් එකෙන් බැස්සා. නෑ බැස්සා නෙවෙයි පැන්නා. සතුට මෙච්චරයි කියලා කියා ගන්න බෑ.

" හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නෑටුවා....
එන හිමිදිරි සිහිලෙට සිතුවිලි කිති කෑවුනා....
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා....
මදහාස නගා ඇය හොරැහින් වගෙ බෑලුවා... "

කොහොමද මේ සිංදුව. හරියට මටම හදලා වගේ. මේකත් මුමුණ මුමුණ, මම ගෙදර ගියේ.. මහා යුද්දයකින් ජය ගත්ත වීර සෙන්පතියෙක්....වගේ, කියා ගන්න බැරි තරම් සතුටකින්..........................

දෑං ඉතිං.. .... මාගේ අනාගතය ඔබය... වර්තමානය ද ඔබය.....හැම දවසකම සතුටද.. ඔබමය...චංචලා.......!!!!
( මට නන්දා මාලිනියද, ඒ අතර සිහි විය )


Tuesday, February 23, 2010

නාම යෝජනාව....බාර අරගෙන...හුරේ...


ඔන්න ඉතිං හිතුවටත් වඩා ඉක්මනින්ම තව blog එකක් ලියන්න උනා. කොහෙන් පටා......න් ගන්නද මන්දා. හිතා ගන්නත් බැරි තරම් ඉක්මනට, මගේ blog අඩවියත්, සිංහල බ්ලොග් සින්ඩිකේටරයට ඇතුලත් කරගෙන. සතු‍ටේ බැරුවා. මාර ජොලි ..අනේ. වචනත් නෑ වගේ සතුටෙ තරම කියා ගන්න.

වැඩ අඩු දවස‍ට කරන්න දෙයක් නැතුව, කාලකන්නි විදියට ගත කරපු දවස් ගාන ... පැය වලින් ගත්තොත් කීයක්ද.? සමහර දවසට ඔළුව මේසෙ ගහගෙන නිදි. FB එකේ, skype එකේ චාටර් වෙවී ඉන්නවා කරන්න දෙයක් නැති උනාම. ඒත් මේ සේරම දේවල් වෙනස් උනා බ්ලොග්ස් ලියන්න ගත්තට පස්සේ.

අර මම කලිනුත් කිව්ව යාළුවා නිසා තමයි, මම blogs ලෝකයට අවතීර්ණය උනේ. මුලින්ම උගේ ඒවා කියෙව්වා. පස්සේ වෙන අයගෙ ඒවාත් හොයාගෙන ගිහින් කියෙව්වා. ඒ වෙනකොට මගේ හිතත් අසීමිතව බ්ලොග්ස් කලාවට ඇදී ගිහින් ඉවරයි. මාත් හිතුවා ලියන්න.......

අද .. මේ නව ඇරඹුමේ තවත් ජයග්‍රාහි ... එක් දිනක්...!!!!

මං දන්නවා මේ ගැන දැනගත්තම, මගේ මිත්‍රයා මොන තරම් සතුටු වේවිද කියලා. blogs ගැන මළ පොතේ අකුරක් නොදන්න මාව, අද ඉන්න තැනට ඔසවා තැබුවේ එයා. සින්ඩිකේටරයට මාව තල්ලු කරන්නත් එයාට තිබුනේ හරිම හදිස්සියක්. ඒ විතරක් නෙවෙයි..දිගටම ලියපන්.. කියලත් හැමදාම කියනවා.

ඉතිං මචෝ... සතුටුයි නේද..උඹට....? මටත් වඩා....ආ..

නොසිතපු ගමනක්.. මේ තරම් දුරකට මා රැගෙන ආ.. මාගේ මිතුරාණෙනි..ඔබටත්....
ආධුනික මා.. ඉතා ඉක්මනින් සිංහල බ්ලොග් සින්ඩිකේටරයට ඇතුලත් කර ගත් සහෘද ඔබ සැමටත්...

මම මගේ මුළු හදවතින්ම ස්තූතිවන්ත වෙමි. ..නිබඳ මා සමඟ රැදෙන්නට ද ඇරයුම් කරමින්......ම...!!!!

-දැන් ඉතිං.. මට ඔබේ ලොවේත්..ඔබට මගේ ලෝකයේත්, රිසි සේ සැරිසැරිමට අවකාශ ඇත-

Thursday, February 18, 2010

කොතැන නවතී ද..


සුව පහසුව අසුනට බර දී උන්නත් හිතට නම් සැනසිල්ලක් ඇත්තෙම නෑ.

දුම්රිය වෙනදාට වඩා සෙමෙන් ගමන් කරතියි මට සිතේ. සිතට නැගෙන්නේ දැඩි කුතුහලයකි. එහෙත් එය ආනන්දණීය හැඟීමකි.

අදවත් ඔබ එයි ද..?

මෙසේ සිතා මග බලා‍ගෙන සිටි දවස් කීයක් නම්, හිතට දුක දී ගෙවී ගියාද? මේ නාදුනන රුවක් වෙනුවෙන් මං මොකට මේ හැටි නැහෙනවාද? තාම දැකලා දවස් කීයද? වැඩිම උනොත් දවස් 5,6ක් ඇති. දකින්නෙත් හැමදාම කරුවලේනේ. කොච්චර try කලත්මේ රූපේ මතකෙ තියා ගන්න බැහැ....... අමතක වෙනවනේ. ඒකෙත් අරුමයක් නෑ. මොකද අද දැක්කොත් ආයෙම දකින්නෙ සතියකට විතර පස්සේනේ. ඒ දැකලත් හිතේ හැටියට බලා ගන්න කෝ chance එකක්.

එයා දැක්කොත් කියලා, හැංගි හැංගි නේ මම බලන්නේ. මම බලනකොට එයා අහක බලනවා. මාත් මොකටද සවුත්තු වෙන්නෙ..එයා බලනකොට මමත් නොදැක්ක ගානට ඉන්නවා. මේ සෙල්ලම ඉතිං කාටවත් නොපෙනෙන්නත් එපැයි කරන්න. අඳුනන කෙනෙක් දැක්කොත් ... බඩුම තමයි.

මම try කියන එක, අදාල කෙනාට වත් නොදැනෙන්න කරන්නයි මට ඕන. වැදගත් විදිහට, second නොවි කරගත්තොත් මම ගොඩ. ඔන්න ඔය විදියේ මල කොලං ගොඩක් කරන හන්දා, හරියට මූණු පොඩ්ඩ මතකෙට වදින්නෙම නෑ.

අම්මෝ...දන්නෙම නැතුව එයා නඟින තැනටම ඇවිත්... මල් හතා...යි

මම ඉතිං හැමදාම, දඩි බිඩි ගාල නැගලා දොර පැත්තෙ තියෙන සීට් එකක්ම අල්ල ගන්නවා. එතකොට එයා නගින්නේ මොන පෙට්ටියටද කියලා ම‍ට බලා ගන්න පුළුවන්නේ. එහෙම උනාම මම ඉන්න තැනත් හොඳට එයාට පේනව. අහම්බෙන් උනත්, හැමදාම උනේ, එයා මං නැගපු එකටම නගින එක තමයි. ඒ ඇවිත් මට පේන හරියෙ සීට් එකක් අල්ල ගන්නවා. මං වාඩි උනාට එයා හිටගෙන. දුකේ බෑ එතකොට නම්. මට හිතෙනවා එයාට සීට් එක දීලා හිටගන්නත්. මොන පිස්සුවක්ද ඒක. මෙයා වාඩි නොවුනොත් නෝන්ඩි හතයි. වෙන එකෙක් දනි පනි ගාලා එතන වාඩි වේවි. මම හෙන ගේමක් දිලා අල්ල ගත්ත සිට් එක පුදපන්කෝ නිකමෙකුට. වෙලාවකට හිතෙනවා එහෙම හරි වෙනවා නම් හොඳයි කියලා. අඩුම ගානෙ එතකොට මට එයා ලඟින්වත් ඉන්න බැරියෑ. . හොරාට හොරාට මූණු ඩිංග දිහා බලාගෙන.

මේ ඩිංගට හිත ගිය දුරක්. කෝචිචිය අද්දනවා හිනෙන් වගේ මට ඇහුණා. සේරම අය නැගලා ඉවරයි.

ඒත් කෝ එයා....????

විනාඩි 5ක් විතර සෙනඟ පීර පීර මගේ ඇස් එයාව හොයනවා. hair style එකවත් වෙනස් කරලද.? නැත්නම් මේකෙ, කට කපලා සෙනඟ හන්දා එහා පෙට්ටියටවත් නැග්ගද.? පේන නොපෙනෙන තරම් කුඩා ශරීරයකුත් නොවෙන නිසා මේකෙ ඉන්නවා නම් ... බැලුව බැලිල්ලට මට පේන්නත් ඕන. දැන් නම් හතිත් වගේ හොයලා හොයලම. ඕන දෙයක් වෙද්දෙන් නැගිටලා ගිහින් බැලුවා අනිත් පෙට්ටි සේරොගෙම.

අනේ ඉතිං නෑනේ... දුකයි කියන්නේ කියලා වැඩක් නෑ. උදේට නැගිටින්නේ හවස් වෙන්නෙ මොන වෙලාවෙද හිතාගෙන. අද හවසත් ඉවරයි. රෑට නිදා ගෙනත් ඉවරයි. රටේම තියෙන සිංදු අහනවා දුක හේදිලා යනකම්ම...phone එක කනේ ගහගෙන. ඊලඟට අන්තර්ජාලය පීරනවා, මට මේ හැදිලා තියෙන love sick එකට හරියන සිංදු හොය හොය. අදත් ඉතිං ගෙදර ගිහින් ඇඳට වෙලා කරන්න තියෙන්නෙ ඕකම තමයි. හැබැයි වැරදිලාවත් ම‍ට හිනෙන් පේන්නෙ නෑ .. මේ වස්තුව. ඕං .. ඉතිං හිතා ගන්න පුළුවන් නේ, මාත් පිං කරපු තරම.

අන්තිමේදි .. කෝච්චියෙ එහා කෙළවරේ ඉඳලා, මෙලෝ හසරක් නැති එකෙක් වගේ, වැනි වැනි මම හිටිය පෙට්ටියට ආවා.

හ්ම්ම්ම්....පුදන කොටම කාපි යකා කිව්වලු. මටත් වඩා සිහිය නැති උන එකෙක් හතර ගාත දාල ‍මගේ සීට් එකේ දොයි. දැන් ඉතිං පල කෝ හැතැප්ම 8,10ක් හිටගෙනම. චික් අප්පා.. මේ විදියට චාටර් උන කීවෙනි දවසද අද...? ( මතකත් නෑ..)

මේ නැහෙන නැහිල්ල දෙවියන්ටවත් පෙනිලා...අර මායාව හෙටවත් මගේ දෙනෙතේ පැටලේවා...!!!!
හැමදාම පතන පැතුම පැතුවා.... දාඩිය පෙරාගෙනම.

මාත් අතාරින්නේ නෑ...බලන්නකෝ .... ඔය තරුව .. මම මේ නිල් අහසෙ දි ..කොහොම හරි අල්ල ගන්නවාමයි.

( ඒ වෙනකන් මාත් එක්ක ඉන්න හො‍‍දේ....)

Monday, February 15, 2010

පතන..විඳින..විඳවන ....ආදරය


මට තාම සිංහල ටයිප් සෙටින් කරන්න හරි අමාරුයි. පේළියක් ගහන්න ලොකු වෙලාවක් යනවා. ඒත් මේ වැඩේ අතාරින්නත් බෑ. මොකද මම දැන් blogs කියවන්න වගේම ලියන්නත් ආස හින්දා. ලොකු කතා ලියන්න හිතේ තිබුනත්, තාම මගේ speed එකේ තරම හොඳටම දන්න නිසා මට හිතුනා...අද කවියක් වගේ දෙයක් ලියන්න.
මේක ගීතයක් ද .. නිසඳසක් ද .. කවියක් ද .. එහෙමත් නැත්නම් පැල් කවියක් ද කියලා ඔයාලම කියවලා බලන්නකෝ.



සුවඳ ඉතිරෙන තරමට
ආදරේ දැනුනාට
දෙනෙත කලඹන රුවකට
ආදරේ දුන්නාට
මදි නැතුව හිත පිරෙන්න ම
ආදරෙයි මං කිව්වාට
කාටවත් බැහැ තව හිතක්
හොඳින් හඳුනා ගන්නට............

ලියන හැම කවියෙම
ඔබම විතරක් උන්නට
සඳට..අහසට..සයුරට
ඔබව උපමා කෙරුවට
කෝටියක් දේ ගෙනත් දී
ඔබව සතුටින් තැබුවට
කොහොමටත් බැහැ වෙන හිතක්
මට මගේ කර ගන්නට.........

මැවෙන හැම සිහිනෙම
දකින සිනහව වූවට
තනිය..පාලුව දැණුනම
දුවන් එන්නට හිතුනට
ලඟ ඉන්න හැම මොහොතෙම
තුරුළු කර සිප ගත්තට
වෙනස් නොවනා එක හිතක්
කාටවත් බැහැ සොයන්නට........

හිරුද.. සඳ.. තරු දිලී
නිල් අහස තුල හිඳී
බඹරු වන පස අරා
රස රහස් ගුමු දිදී
බිඳුණු හදවත දිගේ
අළුත් හැඟුමක් ආ වෙලේ
නොවේ එය.. කුළුදුල් පෙමක්
කියන්නට හැකි දෝ කාටවත්..........






Thursday, February 11, 2010

කෝඩුකාරයාගේ .. උපහාරය ..



මේක මගේ කුලුදුල් blog එක.

මටත් ආස හිතුනා blogs ලියන්න. ගොඩක් අය ලියන blogs මම හරිම ආසාවෙන් කියවනවා. ඇත්තටම මේකට මාව පුරුදු කලේ පිටරටක ඉන්න මගේ යාලුවෙක්. එයාට නම් රහට ලියන්න පුලුවන්. එහේදි එයා ලබන..විදින අත්දැකීම්; ඒවගේම දරා ගන්න බැරි පාලුව .. තනිකම, ලස්සනට අකුරු වලට පෙරලනවා. සමහර ඒවා මටත් Magic වගේ. ඒ ඉතින් මම කවදාවත් ම පිට රටකට ගිහිල්ලා නැති හන්දා වෙන්නත් ඇති. කොහොම හරි මම දැන් ගොඩක් අයගෙ blogs කියවන්න ඇබ්බැහි වෙලා.

මරු වැඩේ කියන්නෙ..හැමදාම දවසකට පැය ගානක් Internet එකේ ඉන්න මම, අර මගේ යාලුවා කියනකම් blogs ගැන නොදැන සිටීම( ඒ දවස් වල ) . ඉතින් ඌ blog එකක් Post කරාම, මට Mail එකක් එවනවා

" blog එකක් දැම්මා..බලපන්, මෙන්න Link එක '' කියලා.

එහෙම තමයි ඌ මගේ blog රසවින්දනය දියුණු කලේ. මම ඉතිං ඒවා බලලා සිංග්ලිශ් වලින් Comments දානවා. ඒ විතරක් නෙවෙයි, සිංහල Type Setting ඉගෙන ගන්නත් මාව උනන්දු කලේ එයා. Sinhala unicode එක ඩවුන්ලෝඩ් කරලා Install කරන එක දක්වාම, හැමදේම ඌ තමයි කියලා දුන්නේ. අද මම බැරි මරගාතෙ මෙහෙම හරි ලියන්නේ, උගේ උනන්දු කිරීම නිසා. ''ඌ'' කියලා කිව්වට, මගේ යාලුවා, මට වඩා අවු.2ක 3ක් බාලයි. ඉස්සර අපේ ගෙවල් ලග තමයි එයාලත් හිටියෙ. පස්සේ එයාල අලුත් ගෙයක් හදාගෙන ටිකක් දුර පලාතකට ගියා. මමත් A/Ls වලින් පස්සේ කොළඔ Job එකකට ගියා.

එදා ඉදලා ගිය අවුරුද්දේ මුල වෙනකම් අපි හමුවෙලා තිබුනෙම නෑ. ඒ හමු උනෙත් ‍Facebook එකට පිං සිද්ධ වෙන්න. ඒත් ඒ වෙනකොට, ඌ හිටියේ ලංකාවෙන් හුගක් දුර තියෙන රටක. ඊට පස්සේ අපි දෙන්නා පහුගිය කාලේ සිද්ධ උන දේවල් Skype එකෙන් chat කරලා දැන ගත්තා. Mails දැම්මා. blogs කියෙව්වා.

ඇත්තම කියනවා නම්, මගේ යාලුවා සිරා පොරක්. මිනිහා දැන් රජයේ වගකිව යුතු රැකියාවක් කරන කෙනෙක්. රට ගිහින් ඉන්නෙ වැඩිදුර ඉගෙන ගන්න. හරියටම කිව්වොත් දුක දිනා ජීවිතය ජය ගත්ත කෙනෙක්. ඕන දේකට ඔට්ටුයි. මිනිහට කරන්න බැරි දෙයකුත් නෑ......හිතුවොත්. හරිම හිත හොද එකා. ඒ වගේම අමුම අමු පිස්සා.

මගේ කුලුදුල් blog එක.. මගේ යාලුවා ගැන ලියන්න වෙන් කලේ ......... එයාට කරන උපහාරයක් විදියට. එයා නැත්නම් මම කවදාවත්ම Blog writer කෙනෙක් නොවෙන්නත් තිබුනා.

ඉතිං යාලුවනේ...‍මේකෙ අනන්තවත් අඩු පාඩු ඇති. '' දිරිදෙන්න ඕන එකෙක් '' කියලා හිතෙනවා නම්...කවර ආකාරයේ හෝ වේවා, Comment එකක් දෙන්න අමතක කරන්න එපා.