Monday, September 12, 2011

පාත්තරයට.....................සිගා වැඩීම...???

එදා ටිකක් විතර වැඩ අධික දවසක්. මට මතක විදිහට වෙලාව උදේ 11ට විතර ඇති.

"අයියේ...හාමුදුරු නමක් වැඩම කරලා ඉන්නවා" එහෙම කිව්වේ මගේ ව්‍යාපාරික ස්ථානයේ වැඩ කරන, තරූෂි. වෙනත් පාරිභෝගිකයන් කිප දෙනෙක්ගේ වැඩක් කරමින් හිටි හන්දා, මම කිව්වා……..

"ආ...එහෙනම් අනිත් අයව පොඩ්ඩක් තියලා, හාමුදුරුවන්ගේ වැඩේ ඉක්මනට කරලා දෙන්න....."

ආයෙම තරූෂි කියනවා.."මට පේන විදිහට නම් හාමුදුරුවො වැඩලා ඉන්නේ..දහවල් දානය බලාපොරොත්තුවෙන් වගේ" කියලා.

ඒක ඇහුවා විතරයි..මට කර කර හිටිය වැඩෙත් අමතක උනා.

"මාර වැඩේනේ ...දැන් මොකද කරන්නේ...." මට ඉබේටම කිය වුනා.

මොකද….. මගේ ව්‍යාපාරය, මුද්‍රණ කටයුතු සම්බන්ධ එකක් නිසා.....දානය වෙනුවෙන් දිය හැකි ආහාරයක් එහි නොමැති නිසා.


"කමක් නෑ....ලග තියෙන කඩේකින් …. මොනවා ‍හරි ගෙනත් දෙමු......."


කරමින් හිටි වැඩය තරූෂිට පවරලා, මම ගියා ...හාමුදුරුවන් ඉදිරියට.


මා දුටු විට... ඉතා සන්සුන් සිනාවකින් මුව සරසා ගත් උන් වහන්සේ....මෙතෙක් වෙලා, තම සිවුරු පටින් වසා ගෙන සිටි, පාත්තරය මා වෙතට පෑවා.

ඇත්තටම ...පාත්තරය තුල ඇති දෑ දුටු විට...මම පුදුමයෙනුත් පුදුමයට පත් උනා.


රුපියල් 100/=, 50/=, 20/=, 10/= කොල වලින් පාත්තරය පිරීලා තිබුනා.


මොනවත් හිතා ගන්න බැරි වුන නිසා , මම නැවතත් හැමුදුරුවන් දිහා බැලුවා.

කිසිවක් නොපැවසූ උන් වහන්සේ නැවතත් මා වෙතට පාත්තරය දිගු කලා.


ඒ වෙලාවේ මට තේරුනා හාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ ආහාර නොවෙයි, මුදල් කියලා.

අට පිරිකර වලින් එකක් වන ..ඒ වගේම දන් වලදන .... පාත්තරයට , මුදල් දමන්නට තරම් ශක්තියක් මා වෙත නොවූයෙන්, මම අතට ගත් මුදල පාත්තරයට නොදමා, හාමුදුරුවන්ගේ අතට දෙන්න හැදුවත් , උන් වහන්සේ සන් කලේ.... එම මුදල් පාත්තරයටම දමන ලෙසටයි.

අන් කල හැකි දෙයක් නැති නිසා, මාත් අනිත් අය කරපු විදිහටම පාත්තරයට මුදල් දැම්මා.

නැවතත් සිවුරු පටින් පාත්තරය වසා ගත් හාමුදුරුවන් වහන්සේ, සිහින් සිනාවක් පා ඉවතට පිය නැගුවා.

මේ සිදුවීම පිලිබද .... නිශ්චිත පහන් හැගුමක් ගොඩ නගා ගන්නට හැදුවත්, කලකිරීම හා පසුතැවිල්ලක් හැර අන් යමක් සිතට දැනුනේ නෑ.

ඇත්තටම...මෙය කාලෝචිත යැයි කියා සාධාරණය කල හැකිද....????

Saturday, August 27, 2011

මතක බණක්...


නොසිතුව ලෙස ඔබ ඇවිදින්
නෙතු අංජන තවරා....
මා නොසිතුව නිමේෂයේ
හද ගී විල කලඹා.....

මතක බණක් සේ හඩ ඇසිලා
තුන් සිත සසල වුනා...
දෙව් අගනක රූසිරි දැකලා
සෙනෙහස් වාන් දොරටු බිදුනා...

වදන් නැතුව...ගොලු වි ගිය...ගී පොත
මොහොතක්..මා.. සුරතේ රැදුනා
කතා කරන ඒ..ඇස් දෙක..අද්දර
මතකයි....මේ පද වැල...ගෙතුනා

Thursday, June 30, 2011

ලෙඩක් හින්දා ..හදා ගත්තු...තවත් ලෙඩක්....!!!!

මම දන්න අයියා කෙනෙක්ගේ, වයිෆ්ට නොසිතු ලෙස, මුහුන දෙන්න වෙලා තිබුනු අකරතැබ්බයක්....මේක. ඒ කතාව, එයාලට වගේම මටත්ඒ වගේම, මේ වගේ දේවල් ගැන නොදන්න, තව කාට හෝ ප්‍රයෝජනයක් වේවි, කියා හිතුන නිසා...පෝස්ට් එකක් විදිහට දාන්න හිතුවා.

හැබැයි..මේක වෙලා නම් ටික දවසක්. මගේ ප්‍රශ්නත් එක්ක ..දාන්න ටිකක් ප්‍රමාද වුනා.

ඒ අයියගේ අක්කා, නිතරම ගැස්ට්‍රයිටිස් හන්දා වේදනා විදින කෙනෙක්. ඕක ඉතිං කොහොමටත් නිට්ටාවටම, හොද කරන්න බෑනේ. නිවැරදි ආහාර පිලිවෙත් අනුගමනය කිරීමෙන් පමනක්, පාලනය කර ගන්න..පුලුවන් අසනිපයක්ලු නේ.

ඒ කියන්නේ...

· නියම්ත වෙලාවට ආහාර ගැනීම.

· ගොඩක් සැර හා තෙල් අධික ආහාර අඩුවෙන් කෑමට ගැනීම.

· හැකි තරම් වතුර පානය කිරිම.

..............වැනි පිලිවෙත් අනුගමනය කිරීම.

කොච්චර අගුන බව දැන ගත්තත් කවුද අඹ උයලා කන්න අකමැති.

පහුගිය පොසොන් දවසේ...මේ අක්කත්, අයියා එක්ක දන්සැල් වැදලා. ඒ කෑමට අඹත් තිබිලා.

ඒ වෙලාවට ලෙඩ අමතකයි නේ. හොදට දන්සැල් වැදලා ගෙදර ඇවිත්... නිදියගෙන.

ඊලග දවසේ උදේ වෙනකොට, අක්කට ටිකට් එක ඇදිලා. එයාට අමාරු වැඩි හන්දා අයියා එයාව පුද්ගලික රෝහලක, ඕ.පී.ඩී. ඩොක්ටර්ට පෙන්නලා බෙහෙත් ගෙනාවා. මොකද ...පොසොන් පෝය දවස්වල, හුගක් විශේෂඥ ඩොක්ටර්ස්ලා, නිවාඩු අරගෙන තිබුන නිසා. ඒ බෙහෙත් බිලා ටික වෙලාවකට පස්සේ, බඩ දැවිල්ල අඩු වුනත්, එයාට තදට හිස රිදෙන්න අරගෙන.

ඇගට පණ නැති හන්දා දවසෙම ඉදලා තියෙන්නේ ඇදේ.

ඊලග දවස වෙනකොට, ටිකක් විතර ඒ අමාරුව අඩු වෙලා.ඒ හන්දා අක්කා දවල්ට කෑම ටිකක් කාලා…. නාලා තියෙනවා.

ඊට පැයකට විතර පස්සේ, අක්කා අයියට කියලා තියෙනවා, එයාගේ බෙල්ල හරියෙන් තද වෙනවා, වගේ කියලා. ඒ වගේම එයා කටේ එක පැත්තක් තද කරගෙන කතා කරන බවත්, අයියට තේරිලා තියෙනවා. ඒ අතරෙදි කට පොඩ්ඩක් පැත්තට යනවත් අයියා දැකලා.

අක්කත්.. පොඩි ලමයෙක් නෙවි නේ. මේ රෝග ලක්ෂන, මොන ලෙඩකට සම්බන්ධ ඒවාද කියලා දන්න හින්දා එයා හොදටම බය වෙලා අඩන්න අරගෙන. අයියත් නොපෙන්නුවට එයත් හොදටම බය වෙලා. එයා ඉක්මනටම, අක්කව ගාල්ලේ මහමොදර රෝහලේ ඕ.පී.ඩී. එකට ගෙනිහින්. ඒ යනකොට, එයා මතක ඇතුව එදා ….ඩොක්ටර් දිපු බෙහෙතුත් අරගෙන ගිහින්. බොන්න දියර බෙහෙතකුයි, එක පෙති වර්ගෙකුයි තමයි ඒ අතරේ තිබිලා තියෙන්නේ.

මුලින්ම අක්කගේ හැසිරීම ගැන ඩොක්ටර් බය වුනත්, අර දිපු බෙහෙත් පෙත්තේ නම දැකපු හැටියේ කිව්වලු..බය වෙන්න එපා ...මේ දිපු පෙත්තට ඔය විදිහට "ඇබ්නොමල් මූ මන්ට්ස් " එන්න පුලුවන් කියලා. ඒ බෙහෙත, වහාම නතර කරන්නත් කියලා. අර ඇබ්නොමල් තත්වය මග හැරෙන්න කියලා වෙන පෙත්තක්, දිලා තිබුනා. පැය 5ක්..6ක් යද්දි ඔය ත්තවය අඩුවෙයි කියලත් කියලා.

ඔන්න ඊට පස්සේ තමයි අයියගේ ඇගට ලේ ටිකක්, උනලා තියෙන්නේ.

ගෙදර ඇවිත් බෙහෙත් ගත්ත හැටියේ, ඒ ගති ටිකක් අඩුවෙලා. ඒත්.. අයියා, අක්කා ලගටම වෙලා, එයා‍ව හොදින් නිරීත්ෂණය කරමින් ඉදලා තියෙන්නේ.

විනාඩි 15කට විතර පස්සේ, අයියා දැකලා තියෙනවා, අක්කගේ කට.. ආයෙමත් පොඩ්ඩක් පැත්තට යනවා. එයාගේ මුණ අල්ලලා බැලුවාම, හරිම තද ගතියක් අතට දැනිලා. අක්කාට කතා කරන්න කියලා කිව්වත්, එයා කතා කරන්නේ නෑලු බයටම. බොහෝම අමාරුවෙන් කතා තරන්න පොලඹවා ගත්තමලු දැනුනේ, කට හඩත් වෙනස් වෙලා කියලා. තොල් දෙකම එයාට නොදැනිම, පිට අතට පෙරලිලා. කට ඇරියම දිවත් පැත්තට ගිහින්. අක්කා බයට, අත් දෙකෙන්ම කට වහ ගෙන..අමාරුවෙන් අඩන්න අරගෙන.

අයියා කියනවා එයා ජිවිතේ කවදාවත්ම ඒ වගේ දෙයක් දැකලා තිබුනේ නෑ කියලා.

ඒ හන්දා එයා බය වුනාලු පුදුම විදිහට.

හැබැයි මේ තත්වේ, දිගටම තියෙන් නෑලු. එහෙම ටික වෙලාවක් තිබිලා, නැති වෙනවලු. ආයෙම ටික වෙලාවකින්, ඒ විදිහටම වෙනවලු.

අයියාට තේරිලා, බලන් ඉදලා හරියන් නැති බව. අක්කව එක්ක ගෙන ගිහින්, කරාපිටිය රෝහලට නතර වෙන්නම බලාගෙන. ඒ හිතුවා වගේම, එයාව.. රෝහලේ නතර කරගෙන. එහෙනුත් කියලා තියෙන්නේ, බය වෙන්න එපා..අර බෙහෙතට තමයි එහෙම වෙලා තියෙන්නේ කියලා. මහමෝදරින් දිපු බෙහෙත් පෙත්තක්ම, ආපහු දීලා. ඒ බෙහෙත ලේ වලට මිශ්‍ර වෙන්න ටික වෙලාවක් යනවා..ඊට පස්සේ ඔය තත්වේ මග හැරෙනවා කියලා.

ඊට පස්සේ, අර ලක්ෂණ, අඩු වෙවී වැඩි වෙවී තිබිලා, රෑ 8ට විතර වෙනකොට සම්ර්‍පූර්ණයෙන්ම හොද වෙලා තියෙනවා. ඕක පටන් අරන් තිබුනේ දවල් 1.15ට විතර.

ඊට පස්සේ එයාලා ටිකට් කපන් ඇවිත්.

හැබැයි රෝහලෙන් කියලා තියෙනවා, බෙහෙත් ගන්න යන සෑම විටකම..අර දිපු බෙහෙත හන්දා, තමන්ට සිදුවු කරදරය, අදාල වෛද්‍යවරුන්ට කියන්න කියලා..

ඒ බෙහෙත සාමාන්‍යයෙන් දෙන්නේ වමනය නතර කිරීමට හා කිරි දෙන මව්වරුන්ට, කිරි එරීමටලු.

මේ අක්කා බැදලා තාම මාස 5යි. බඩ දැවිල්ල ඇරුනාම එයාට වමනය තිබිලත් නෑ.

ඉතිං....හැමෝටම ප්‍රශ්නේ ඇයි …. අර පුද්ගලික රෝහලේ ඩොක්ටර්, ඒ වගේ බෙහෙතක් දුන්නේ කියලා.

අඩුම ගානේ ඒ ඩොක්ටර්ට කියන්න තිබුනා, මේ පෙත්තට, සමහරුන්ට මේ වගේ තත්ව එනවා ..ඒ හන්දා කල්පනාවෙන් ඉන්න...එතකොට, වහාම ඒ බෙහෙත නතර කරන්න කියලවත්. ඒ මොනවත්ම නොකියනේ මේ ‍පෙත්ත දීලා තියෙන්නේ.

මෙහෙම බැලුවාම, දැන්…. බෙහෙත් ගන්න ඩොක්ටර්ස්ලා ගාවට යන්නත්, බයයි ..නේ.

ඇයි..එක ලෙඩකට බෙහෙත් ගන්න ගියාම..තවත් ලෙඩක් හදා ගෙන, එන්න වෙන නිසා.

ප.ලි-

ඔයාලගේ දැන ගැනීම පිණිස ඒ බෙහෙතෙ නම කියන්නම්….

" Maxolon "

මේ බෙහෙත, ලෙඩකට නිර්දේශ කලොත් ඒ ගැන දෙපාරක් හිතන්න, අමතක කරන්න එපා.

ඒ වගේම, හැමෝටම මේ බෙහෙතෙන් අනිසි බලපෑම් නොවෙන බවත්, සිහි තබා ගත යුතුයි.

ප.ලි-

අර අක්කා නම්, ඒ බෙහෙතෙ නම ඇහෙන කොට, තාමත් වෙව්ලන්න ගන්නවලු..

ඇයි එයා මොන තරම් දුකක් විදින්න ඇද්ද ..එදා.

ඒ වගේද..මානසිකව එයා වැටුන ඇද වැටිම........බය විම.

Monday, June 27, 2011

100% ..ම...ඇයි මට..ඉඩ නොදෙන්නේ..!!!


මගේ, ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එකේ, ගනු දෙනු වල, පොඩි පහේ පැටලැවිල්ලක් වෙලා තිබුනා. ඒක ගැන හරියටම හොයන්න නම්, මේ අවුරුද්දේ පරණ බිල් ඔක්කොම ඕන. ඒක... සේරටම වඩා, පණ යන වැඩක්. ඇයි ඉතිං ... ඕන බිලක් ආවොත්, කබඩ් එකේ ලාච්චුවකට විසි කරනවා.....පරිස්සමට තියා ගන්න, ඕන නිසා.

හරියට පිලිවෙලකට, ඒවා තියලා තියෙන නිසා..හොයන්න ගියාම…. ආස හිතෙනවා.

ඒත්... ඉතිං.. ඒවා නැතුව, මේ අවුල, හොයා ගන්නත් බෑ.ඒ හන්දා... පොත් කබඩ් එකේ, ලාච්චු ‍ටික, එකෙන් එක අරගෙන, බිම තියාගෙන ..හොයන්න ගත්තා. ක්‍රෙඩිට් කාඩ් එකක් නිබ්බට, මම වැඩිය, ඕකෙන් ගනු දෙනු කරන් නෑ. මොකද….. හදිස්සියේ වත්, ඕක ගෙවන්න අමතක උනොත්..පොලී..වැල් පොලී වෙලා...තව තවත් පොලී එකතු වෙලා...අම්බානක බිලක්, ගෙදරට සැපත් වෙනවනේ.

අප්‍රේල් මාසෙ බිලයි....පෙබරවාරි මාසේ බිලයි, තමයි මුලින්ම හම්බ උනේ. ඒකටත් විනාඩි 20ක් විතර ගියා. ලාච්චුව හුගක් පිලිවෙලයි කියලා දැන් වත් ෂුවර් නේද....

ඊලගට අහු වුනේ, ජනවාරි බිල. ඒක දිග හැරියම ....තුනට හතරට නවපු කොලයක.... ලියලා තිබුනු ..දෙයක් නෙත ගැටුනා.

පවනැල්ලක් වූවා නම්

සුදු මුහුනේ

සෙනේහයෙන්.....වෙලෙන්න තිබුනා

------------------------------------------------

අරුණැල්ලක් වූවා නම්

උණුසුම ගෙන

ඔබ තුරුලේ..... රැදෙන්න තිබුනා

------------------------------------------------

ගීයක් වත් වූවා නම්

හද පතුලේ

නොමැකෙන සේ..... ගයන්න තිබුනා

------------------------------------------------

ඔබ.. මට හිමි වූනා නම්

රතු වෙන තුරු

ඔය දෙකොපුල..... සිඹින්න තිබුනා

------------------------------------------------

මට හිමි නැති ..හිනාවකට - පෙම් බදිනවා මං

යන එන මග ..නිමක් නැතිව - ඔබ සොයනවා මං

නොලැබෙන මේ.. රුව අභියස - පෙරුම් පුරන මං

පණ ඇරගෙන.. ඔයාට දැන් - ආදරෙයිනේ මං


මම…. හිත හදා ගන්න, නොකරපු... තාමත් නොකරන... දෙයක් නෑ.

අමතක කරන්න.......... නොදීපු ගේමකුත් නෑ.


ඈත් උනා........... ඇස් දෙකට, කොහොමටවත්..... නොපෙනෙන්නම....

ඒකට........... ඉඩ තියෙන, හැම මගක්ම..... මමම.... අහුර ගත්තා.

දුකට ලියපු, හැම දෙයක්ම.... පොත් කබඩ් එකේ, යටටම දාලා…… ඒකේ යතුර විසි කරලා දැම්මා.

මොකද...මම... එයා වෙනුවෙනු, කරපු..කියපු ..ලියපු කිසි දෙයක්, ඒ විදිහට ලේසියෙන් විසි කරන්න, බැරි හින්දා.

මතක් වෙන කොට, ඒවා බල බල මම විදවන හින්දයි..යතුර විතරක්, විසි කලේ.


ඒත්..මේ කවිය..මට කොහොම හරි, මග හැරිලා.

බිල හොයන්න, හිත හදා ගන්න බෑ...මම ආවා බ්ලොග් එකට.


නොබී............. දුක.... පා කරන්න.. පුලුවන් ..එකම තැනට.


ඇයි මට 100% ක්ම....ඔයාව අමතක කරන්න ...මගේ දෛවය ඉඩ නොදෙන්නේ...??????????

Wednesday, June 22, 2011

ඇතුවත් බැරි..නැතුවත් බැරි...... නම.......!!!


අපි උපදින කොටම, අපට අපේම කියලා අම්මා කෛනෙක්, තාත්තා කෙනෙක් දායාද වෙලා තියෙනවානේ. ඊලගට අපට ලැබෙන නොහොත්, දායාද කර දෙන අනිත් දේ තමයි නම. කොයි තරම් ඇති නැති විෂමතාවයන් සහිත ලොවක අපි ඉපදුනත්, තමන්ටම කියලා නමක් නැති කෙනෙක් නම් ඇත්තේම නැහැ.

නිකම් හිතන්න....අපි කිසිවෙකුටත් අනන්‍යය වූ නමක් නොතිබුනා නම්..කොහොම වෙයිද කියලා.

එ‍කිනෙකා හදුනා ගන්නටත්..තව කෙනෙකුට හදුන්වා දෙන්නටත් ..මතකයේ තබා ගන්නටත්... මොන, මොන විදියේ දේවල් කරන්න වෙයිද කියලා....එහෙම උනා නම්.

නිවාඩු පාඩු වෙලාවක ඒ ගැනත් හිතන්න.......

ඒත්..දැන් මට කියන්න ඕන..අපට දීලා තියෙන නම හින්දා අපට අත්වෙලා තියෙන වාසි ගැන නම් නෙවෙයි.

මට කියන්න ඕන අවාසි ගැනයි.

මට හිතෙන්නේ, ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි..ඒ ගැන කතා කරන්න බැරි...ලියන්න බැරි...හිතන්න බැරි, හදුනා ගැනීමට කියලා, අපිව රාමුවක් තුල කොටු කරපු... අපට දිලා තියෙන නම නිසයි.... කියලා.

අපි උපදින කොටම අපි ජිවත් විය යුතු ආර්ථික..සමාජයීය ...සංස්කෘතිකමය හා ආගමික වටපිටාව, පැවතිය යුතු වපසරිය, නොහොත් රාමුව නිරිමාණය වි හමාරයි. අපි අපේ හැගීම් හා මතවාදයන් ඒ සීමාවෙන් මෙපිට තබා කටයුතු නොකරන්නේ නම්..අනන්ත වු පරිභවයන්ට ලක්වීම, නොවැලැක් විය හැක්කක් වනු ඇත. ඒ සීමාවන් තුල, සත්‍යයක් නෙවුවද...සමානාත්මතාව නොවුවද...ආදරයක් නෙවුවද...දියූණුවක් නොවූවද..ඒ ගැන නොවිමසා අදාල රාමුව තුල, මියෙන තුරාම අප ජිවත් විය යුතුය.

එසේ නොවි... යම් කෙනෙක්, ඉන් ඔබ්බට ගිය මතයක් ගොඩ නැගුව හොත්....පොල් ගෙඩි අකුරෙන් ඒ පුද්ගලයාගේ "නම" ලියා / කියා පට්ට ගසනු ඇත. ඔහුට තියා ඔහුගේ පවුලේ කෙනෙකුට වත්, පාරට බසින්නට බැරි වන්නට, ඒ පුද්ගලයාගේ නමට අපහාස කරනු ඇත.

’’ අසවලාගේ අම්මා..තාත්තා..අයියා..නංගි..නැන්දා..ආච්චි කියලා

ඒ හන්දා තමයි..මිනිස්සු ඇත්ත කියන්න ඕන වෙලාවට...නිර්නාමික...විදිහට පෙනි ඉන්නේ. දන්නවනේ "නම "කිව්වොත්.....සමහර වෙලාවට පරම්පරා ගානකටම සෙට් වෙන්න, වැඩක් ලැබෙන්නත් පුලුවන් බව.

කවුද ඉතිං තමන්ගේ ආත්ම ගරුත්වයටයි..පණටයි ආදරේ නැත්තේ..නෙ.

සමහරු-නිර්නාමික-වෙලා මෙලෝ රහක් නැති දහ ජරා වැඩත් කරනවා. ඒත්, මම.. අද කතා කරන්නේ ඒ පැත්ත ගැන නම් නෙවෙයි.

අනික අපේ බ්ලෝග් කලාවේ පවා Anonymous තීරුවක් දීලා තියෙන්නේ, ඇත්ත කතා කරන්නත්...නව මතවාදයන්ට ඉඩ දෙන්නටත්...තමන්ට හිතෙන දැනෙන දේ එලෙසින්ම ප්‍රකාශ කරන්නටත් කියලයි...මට නම් හිතෙන්නේ.

එහෙම නොවුනා නම් .. බොහෝ දුරට බ්ලෝග් රයිටර්ගේ අදහසට, පක්ෂපාතී කමෙන්ට්ස් විතරක් ම වැටෙන්නත් තිබුනා. මොකද.. තමන්ගේ යාලුවෙක්ගේ බ්ලෝග් එකේ අඩු පාඩුවක් හෝ වැරද්දක් හො පෙන්වූ විට ඔහුගේ/ඇයගේ හිත රිදේවි යැයි, සිතන්න පුලුවන් නිසා.

අන්න එහෙම වෙලාවට.... මේ Anonymous තීරුව කෙනෙක්ට ප්‍රයෝජන වෙන්නත් පුලුවන්.

ඒවගේම Anonymous වෙලා, තව කෙනෙක්ගේ ආත්ම ගරුත්වය .. මානසික ඒකග්‍රතාවය .. නැති කරලා..බ්ලෝග් කලාව ගැන කලකිරවලා..එයින් ඉවත් කිරීමට, උත්සාහ නොගෙන ඉන්නවානම් තමයි - හොද - කියලත් කියන්න ඕන.

ඉතිං..එකී, මෙකී හා තව නොකී..කරුනූ කාරනා හින්දා....මටත් වෙලාවකට මේ නම නම් මහ ම මහ වදයක්.

(මොන හොදක් කලත්...(නෑ..නෑ..හොදක් කලාට නම් අපේ නම් කියවෙන්නේ නැ) නරකක් කලත් ... නමටලු නේ ඒවා බලපානවා කියන්නේ...නේද. මැරුනට පස්සේ වත් සමහර මිනිස්සුන්ගේ "නම්" වලට නිදහසක් නෑ නේ)

මගේ හිතේ තියෙන දේ, ඒ විදිහටම කියන්න..මට දැනෙන... හරියි කියලා හිතන විදිහට ජිවත් වෙන්න ..සතුටු වෙන්න ..ආදරය කරන්න, බැරි වෙලා තියෙනවා..මෙන්න මේ අදුන ගන්න දිපු නම හින්දා.

ඒ හන්දා තමයි..මට උප්පැන්නට දීපු නම අර රාමුව තියෙන, ලෝකයට විතරක් දීලා...මට හිතෙන, දැනෙන හැම දෙයක්ම, බොහෝම නිදහසේ..සැහැල්ලුවෙන්..හංගන්නේ නැතුව කියලා දාන්න....මගේ බිලොග් එක ඇතුලට රිංගන්නේ.

මීටත් අමතරව, මම අකමැති , තව දේවල් තියෙනවා..බලෙන් අපේ ඇගේ ගහපු ඒවා....

ඒවා පස්සේ දවසක වෙන පෝස්ට් එකකින් දාන්නම්.

.ලි.

මේ ලියුවේ .... මගේ හිතට ආපු දේවල්..ඒ විදිහටම ..ගෙඩිය පිටින්ම.

ඉතිං ...මේ ගැන ඔයාලගේ අදහසුත් ලැබුනොත් ලිපිය තවත් හර බර වේවි.