Sunday, May 9, 2010

- සින්නක්කරම..මගේ නොවේ -




මෙතෙක් සිදුවූ සියල්ලම, මා, සිත තුලම සඟවා ගත්තා මිස, කිසිවෙකුට කීමට නොගියෙමි . සියලු කටයුතු නිසියාකාරව, සිදු කිරීමට මා අපොහොසත් වුවද, සිදු කල යුතු බොහෝ දෑ, යම් ප්‍රමාණයකින් හෝ කරගෙන යාමට සමත් විය. අතිශය වෙහෙස කර කාල පරිච්ඡේදයක්, මෙසේ ගෙවී යන්නේ, හදවතට ද නොනිමි වේදනාවක් එක් කරමිනි.

හරියටම මාසයකට වැඩි කාලයක් Post එකක් ලිවීමට නොහැකි තරමටම, මා මානසිකව විඩාවට පත්වී තිබුණි. අනිකුත් සහෘදයන්ගේ, බ්ලොග් සටහන් සෑහෙන ප්‍රමාණයක් ද, ඒ අතර තුර මට, මග හැරී තිබුණි. සමහර ඒවා කියවුවද ‍Comments දමන්නට නොහැකි විය. තවත් සමරහක් සහමුලින්ම, මට.. මග හැරුනි. ඒ සියල්ලටම, මේ සටහන කියවූවායින් අවසන....... ඔබ සැවොම... මට සමාව දෙන බව මම දනිමි. දිගු කාල පරිච්‍ඡේදයක සිදු වු, සිදුවීම් පෙලක්....මෙසේ ලඝු කොට දක්වමි.

සිරිත් පරිදි ....... හැම දවසකම මට, ඇය හමු විය. නොබෝ දිනකින්ම, අපි හොඳ යහලුවන් බවට පත් වූ වෙමු. අප එකතු වූ විට, බස් රථය සිනා සාගරයක් බදු විය. එවිට, මට නිරත්තරයෙන්ම, මගේ පාසල් අවධිය සිහියට නැගුනේ.... එකල ද..... මෙලෙසින්ම, පාසල් බස් රථය සිනහවෙන්, දෙවනත් කල නිසාය. ලස්සන පාසල් සිසුවියක දුටු විට, අප ඇයව සිනහ ගස්සන්නට තරඟ කළෙමු. ඒ සිදුවීම්, මිහිරි සිතුවමක් මෙන්, එකින් එක, මතක් කරවන්නට, චංචලා සමඟ බස් රථයේ රැදුනු හැම මොහොතක්ම සමත් විය.

නොසිතූ මොහොතක.. චංචලාගේ හොඳම යෙහෙලියන් වූ.. නදීට හා විවේකාට ටිකක් දුර පලාතක පිහිටි, ශාඛා දෙකකට මාරුවීම් ලැබුණි. ඉන් අනතුරුව, බස් රථයේ යාලුවන් ලෙස ඉතිරි වූයේ මාත්, චංචලා පමණි. යෙහෙලියන්ගේ මෙම හදිසි මාරුව, චංචලාට මෙන්ම මට ද, මහත් තනිකමක් ගෙන දෙන්නට ‍හේතු විය.

වෙනදා.... පොදු මාතෘකා රැගත් කතා බහකට සීමා වූ අපේ ඇසුර, පෞද්ගලික ජීවිතයේ සිදුවීම් දක්වා රැගෙන යාමට හේතු වූයේ, බස් රථයේ අප දෙදෙනා පමණක් තනි වීමය. මගේ ව්‍යාපාරික කටයුතු මෙන්ම, ඇගේ කාර්යාලයේ වැඩ කටයුතු ද ඒ අතර මුල් තැන ගන්නා ලදි. අපි, අපේ ප්‍රශ්න එකිනෙකා හා බෙදා හදා ගන්නට පුරුදු වීමූ.

මට අබෝධ වූ පරිදි ... ඇය මට වඩා බොහෝ සෙයින්,වෙනස් වූ.... ගති පැවතුම් ඇති, තැනැත්තියක වුවාය. ඇගේ ඇසුරේ දී , මට අපැහැදිලි තැන් රැසක් ද හමු විය. නමුත්....... ඒවාට පිළිතුරු ද නොවූවාය. මා ඇයට බැදි සෙනෙහසම......මේවා, හාරා අවුසන්න යෑමට ඉඩ නොදුනි.

මා.. කොතරම් ඇය ගැන උනන්දු උවද... ඇය ඒ බව නොදන්නවා සේ උන්නාය. නැතිනම් ඇය ඇත්තටම ඒ බව නොදැන හිටියා වන්නට ද පුලුවන. ඇයව, කෙසේ හෝ දුරකථන ඇමතුමකට සම්බන්ධ කිරීමට මා කොතෙක් උත්සාහ කලද, ඒ සෑම වරකම ඇය නිහඬ වූවාය. දුරකතනය නාද වී .......... අවසානයේ ඇමතුම විසන්දි වන තුරුම , ඇය දුරකථනයට පිළිතුරු නොදුන්නාය. මෙය, මට... මහත් ගැටලුවක් විය. අවසානයේ දී, මම ඉතා සැහැල්ලු ලෙස ඇයගෙන් ඒ පිළිබඳව විමසද්දී..... ඇය කතාව වෙනතකට යොමු කොට, එම ප්‍රශ්නයෙන් මඟහැර ගියාය. එසේ සිදුවූ වාර කිහිපයක්ම විය. අවසානයේ දී.. ඇයට දුරකථන ඇමතුම් දීමෙන්, මම වැලකී සිටියෙමි. ඒ......... කුමන හෝ කරුණක් මත , ඇය අකමැති දෙයක්, මා අතින් සිදුවන බව , මා තේරුම් ගත් නිසාය. ඇයට ඉඩ දී , බලා සිටින්නෙමියි.....මා තීරණය කලාය. මගේ අදහස...... ඇයට පැවසිම ඒ නිසාවෙන්..... දිනෙන් දින කල් යන ලදි..

එදින සිකුරාදා දිනයකි.

" ගගන…….. මට හිතෙනවා මාත් Transfer කරයි ද කියලා "

" ඇයි….. ඔයාට එහෙම හිතෙන්නේ.." හිනෙන් වත් දැක්කද එ‍හෙම වෙනවා "
සිනා වෙවී...... මම ඇහුවා .

" අනේ නෑ..... ගගන... නදී, වගේම මාත් දැන් අවුරුදු 2 ක්ම මේ Branch එකේ නේ..
ඉතින් ... ඒකයි මටත් බය "

" ආ... ඒක ද ?
... ඉතිං .... ඔයාට පුළුවන් නේ චංචලා...... Government Job එකකට යන්න.
ඒවායේ ඔය හිතු මනාපෙට දේවල් කරන්නේ නැ..... නේ "
මං, ගැසට් එක බලලා Vacancies ගැන ඔයාට කියන්නද.... "

ඉන් ඉක්බිතිව පැවතියේ මද නිහැඩියාවකි....

"මොකද සද්දයක් නැත්තේ... ඔයා කැමති නැද්ද Government Service එකකට …?

" වැඩක් නෑ ............ ගගන...
මැරි කරායින් පස්සේ Job එකක් කරන්න .... මට අදහසක් නෑ "

" ඇයි ...........ඒ... " මම වික්ෂිප්තව ඇසුවෙමි

මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ...................... වදන් වැල ...................... ???????????

"මාව, මැරිකරන්න ඉන්න කෙනා, කැමති නෑ.... මම Job එකක් කරනවට, ගගන "
මේ වචන ටික ඇය තෙපලුවේ, මොන තරම් අපහසුවකින් දැයි, මම දුටුවෙමි.....

අනේ මම අසරණ උන තරම්............. එදා........
වීදුරුවක් මතට වැටුනු, වීදුරු බෝල වගේ, මගේ හිතයි.....ප්‍රාර්ථනාවනුයි , ඉරි තලලා, කෑලි ...කෑලි වලට කැඩුනා.
ජනෙල් අතරින්, එහාට විහිදුනු, මගේ නෙත පුරාවට, පිරුණු කඳුළු, චංචලා දැක්කා ද නොදැක්කාදැයි..........අද ද .... මම නොදනිමි.

" ආ.. ඇත්තද චංචලා.....එහෙම නම් ඉතිං මොනවා කරන්න ද..."
ඒ මොහොතේ.. මට වචන සිර වූවාද... නොඑසේ නම්, මගේ හඬ ගොලු වුවා ............. දැයි සිතා ගන්නට බැරි විය.

මගේ, නෙත් අංජන මවනා...සිතුවම.....මගේ සරා සඳ ....ඇය - අන්සතු බව ,මට කියා දුන්නාය.
තවත් දුරක් ...ඇය සමග එන්නට එ...පාපාපාපාපාපා යයිද......ඇය, මට මේ කියන්නේ.....??????

ගෙවුනු සමයේ, ඔයාගේ නිහඬතාවන්ට....මග හැරීම් වලට , හේතුව... දැන් මම දන්නවා...චංචලා.
සමහර වෙලාවට... මේක, මට කියා ගන්න බැරුව ... ඔයා හුඟක් දුක් විඳින්නත් ඇති.

වරද මගේමයි......ඔයාගේ නෙවෙයි.....දෙව්දුවේ...
අන්සතු බව නොදැන ....ඔයාට... ආදරය කලාට ...මට සමා වෙන්න...ආදර චංචලා.
-
-
-
-
හිතා ගන්න බැරි - ආදරයක් වී - ඔබ ආවා
කියා ගන්න බැරි - සෙනෙහසකින් සිත - ගොලු වුවා..
දරා ගන්න බැරි - මහ මෙරකට වැඩි - දුක දීලා
බෙදා ගන්න බැරි - ආදරයක් ලඟ..සිත හැඬුවා.......

සරා සඳට - පායා එන්නයි - නිල් අහස උනේ
වලා පෙලක - දේදුන්නක අසිරිය - නෑ දුටුවේ..
මං මග බැලුවට- තරු වටකරගෙන - රෑ යාමේ
මගේ සරා - සඳ පායනවලු - කලුවර අහසේ........

දුරින් හිඳින්නම්..ඉඳ හිට විත්- ඔබ හමුවන්නම්
සිතේ ආදරය - තවත් නොපෙන්වා - සඟවන්නම්..
සිතුවම වී - රෑ සිහිනය තවරා - ඇ‍ඳෙනවා නම්
කොලෙම් තොටදි - මම - තනියම අඬලා - නිදියන්නම්..........

කලුවර අහසට - සින්නක්කරවම - අයිති උනු
නොපැතූ මොහොතක - මා නෙත් අභිමුව - එළිය උනු..
හිරු , තරු , දේදුනු - වලාකුලු වලට - තුරුලු උනු
සඳවතියේ ........ මම තාම ආදරෙයි.......මගේ නො උනු.


16 comments:

  1. හ්ම්ම්ම්ම්ම් !

    මෙච්චර කාලයක් නිල් අහසේ කතාන්දරය අපිට නොකියන්නට හේතුව මේකයි එහෙනම්. චංචලා වැරදි ද කියලා මට කියන්න බෑ.හිතන්නත් බෑ. මොකද කෙල්ලෙක්ට කොල්ලෙක් ඉන්නවා කියලා තවත් යාලුවෙක්ව එක්ක කතාබහ කරන එක පාපයක් නෙමේ. ඒ කතාබහෙන් බලාපොරොත්තු තියා ගත්ත ඔයා වැරදි කියන්නත් මට බෑ. මොකද ඔයා කිසි දෙයක් දන්නේ නැති නිසා.......

    කොතැන හරි ලොකු වැරදීමක් වෙලා තියෙනවා කියලා විතරක්ම මට හිතෙනවා.ඒත් මට ඔයාට එක දෙයක් කියන්න ඕනෙ.තවත් කෙනෙක්ට අයිති කෙනෙක්ට ආදරය කරන එක ලේසි නෑ. දුක විඳින්න වෙනවා හරියට...මොකද මම එහෙම දෙයක් තුල ඉන්න නිසා ඒකෙ වේදනාව මම දන්නවා......

    තව දුරටත්..මේ දේ මේ විදියටම වෙයි කියලා හිතනවානම්...චංචලාගෙන් ඈත් වෙන්න. මොකද අහිමි දෙයකට ආදරය කර කර මම විඳින දුක තව කෙනෙක් විඳිනවට මම කැමති නෑ...

    ReplyDelete
  2. " මට අබෝධ වූ පරිදි ... ඇය මට වඩා බොහෝ සෙයින්,වෙනස් වූ.... ගති පැවතුම් ඇති, තැනැත්තියක වුවාය. ඇගේ ඇසුරේ දී , මට අපැහැදිලි තැන් රැසක් ද හමු විය. නමුත්....... ඒවාට පිළිතුරු ද නොවූවාය "

    මෙවැන්නක් මටද විය... නමුදු මට පිලිතුරු තිබුණි.. එනිසා මම ඇය පිලිබඳ බලාපො‍රොත්තු අත්හැර සිටියෙමි.. දැන ඇය විවහ වීමට යයි.. මටද ආරාධනා කර ඇත... මුලින් දුකක් ඇතිවුනද සතුටින් සමු දෙමි මම ඇයට.. .තවම ඇයට වයස 20 ක් වේ.. ඇගේ ඉදිරි දිවිය කෙසේ වේදෝයි මට සිතාගත නොහැකි වූ අතර දින කීපයක් තිස්සේ කල්පනා කර අවසානයේ අනවශ්‍ය කරදර පටලවා නොගෙන එය පිළිබඳ සිතීම පවා අත්හල මම දැන් සතුටින් සිටිමි...
    ඉවසන්න මිතුර... කාලයා ඔබේ තුවාලය සනීප කරනවා නොඅනුමානය.. හරියට මාව සනීපකරා වාගේ.......

    ReplyDelete
  3. මේ උබට ගෙවාගන්න අමාරු....කාලයක් තමයි..එත්.....අපිට තියන එකම පිහිට ඉවසන එක...හිත හාදාගන්න ඒක....

    අමාරු උනත් ඔය මතකෙත් එක්ක ජිවත් වෙන එක...නවත්ත ගන්න බලපං.....මොකද උඹ මතකයත් එක්ක ජිවත් වෙන්න....ගිහින් ඔය තුවාල පැරෙන්න ඉඩතියනවා.......
    එයා උබට කවදාවත්ම අදරේ කලේ නත්නම්.....එයා..ලස්සන ජිවිතයක් ගතකරයි...උඹ්ගැන හිතන්නෙත්..නැතිවෙයි...එත්..උඹ ඔය මත්ටෙම ..නහින ගියොත්...උඹෙ ජිවිත්ය අදුරු වෙන්න පුලුවන්....මම දන්නවා මෙහෙම උනහම අමතක කරන්න අමාරු බව.මමත් මේ වගෙම දෙකට මුහුන දුන්න....මේ දවස්වල උබ තනිවෙන එක නතර කරපන්..පුලුවන්තරන් මොනවහරි වඩක යෙදියන්....තනිඋනහම මතකයට අපිව නතුකර ගන්න තියන ඉඩකඩවඩියි.....

    ReplyDelete
  4. දිල් අක්කෙ මගෙ ඔලුව අල්ලලා ගහපන් බිත්තියෙ......අක්කෙ..
    මචන් නිල් අහස පොඩ්ඩක් කැඩුනට බිඳුනට කමක් නැහැ ආපහු හැදියන්.. හැබැයි .. උඹට ඔනාම නම්..කෙල්ල තාම බැඳලා නැහැනෙ.. බඳින දවස එනකම්ම ට්‍රයි කරපන්නන්, අන් සතු කියලා කිව්වට තාම නැහැනෙ.. මචන් හැමදාම අතහරින්න පුරුදුවෙන්න එපා.. අන්තිම පන්දුව දක්වාම ඉනිමෙ හිටපන්.. ඔකනෙ වැඩෙ... මචන් අපි දුක් වෙන්න ඔනා නැහැ කිසි දෙකට.. මගෙ කතාව සම්පුර්ණයෙන්ම වෙනස්.. මම ලැජ්ජාව ඉවසගන්න බැරුව මැරෙන්න ඔනා කෙනෙක් .. මට ලැජ්ජාවක් නැති හින්දා ලොකෙ වැනි වැනි ඉන්නවා.. මචන් කොච්චර දෙවල් උනත්.. මම තාම කිසිම අල්ලගත්තු දෙයක් අතහැරලා නැහැ.. මම නිසා මම දුක් වින්දත් කමක් නැහැ.. මචන් උබ ආදරෙ කරන දෙයක් නම ගින්නට පැනලා හරි එක ගන්න උත්සහා කරපන්.. සමහර දෙවල් තියනවා.. උඹට එ කෙල්ලව ගැලපෙනවා නම් දෙන්නම එක බොට්ටුවෙ නම්.. හැගීම් දැනිම් හුවමාරු වෙනවා නම්.. වෙනසක් සිදුවෙවී.. බය වෙන්න එපා... දුක් වෙන්න එපා.... උනොත් එහෙමයි.. නැත්තම් මෙහෙමයි.. හැබැයි අන්තිමය දක්වා අවදියෙන් ඉන්න ඔනා...

    ReplyDelete
  5. ඔයාට මොනව කියන්නද කියල මට තේරෙන්නෙ නෑ...


    'මට අබෝධ වූ පරිදි ... ඇය මට වඩා බොහෝ සෙයින්,වෙනස් වූ.... ගති පැවතුම් ඇති, තැනැත්තියක වුවාය. ඇගේ ඇසුරේ දී , මට අපැහැදිලි තැන් රැසක් ද හමු විය. නමුත්....... ඒවාට පිළිතුරු ද නොවූවාය. මා ඇයට බැදි සෙනෙහසම......මේවා, හාරා අවුසන්න යෑමට ඉඩ නොදුනි.'

    ඒත් මේ ටික කියෙව්වම හිතෙනව තවත් ඒ ආදරේ දුර යන එක තේරුමක් නෑ කියල...ඒත් ඉතින් මම ඇයව දැකල අහල මුකුත් නැති නිසා මට දැනෙන හැටි ගොඩක් වැරදි වෙන්න පුළුවන්..

    කොහොමවුනත් හොඳට හිතල තීරණයක් අරගෙන ඒක ක්‍රියාත්මක කරන එක තමයි හොඳම දේ..

    ReplyDelete
  6. මේ ලියපු කවි ටික සිංදුවකට මරු නොවැ..
    දිගටම සිංදු ලියාපංකෝ..

    ඕවා ගැන හිතන්නේ නැතුව, වැඩ කරහං.. වෙන දෙයක් වෙන්නේ නැතැයි..

    ReplyDelete
  7. මචං මමනම් හිතන්නේ නෑ එයාට උඹ එයාට ආදරේ කරපු බව නොදැනුනා කියල. එහෙම දැනුන නිසා වෙන්න ඇති එයා උඹව මග අරින්න උත්සාහ කරේ. මචන් උඹට එයාව අමතක කරන්න අමාරු බව මම දන්නවා. ඔය වගේම දුකක් මාත් විඳින නිසා අමතක කරන්න තියෙන අමාරුව මම දන්නවා.

    රවා කියපු දේ හරි කියල මට හිතෙනවා. එයාගෙ හිතට උඹ ලංවෙලා කියල මට හිතෙනවා. වෙනසක් වෙන්න බැරි කමකුත් නෑ. මොනව උනත් ඕව වැඩිය හිතට ගන්නෙපා. ඔයාගෙ වැඩ ටික නෝර්මල් එකේ කරගෙන යන්න.

    ReplyDelete
  8. ඩිංගක් හිත හදාගෙන... චංචලා ගැනවත් කියවනව කියල හිතාන, නිල් අහසට ගොඩවුණේ...

    දෙයියනේ ඇයි හැමෝටම මෙහෙම වෙන්නෙ...

    මට උඹව තේරුම් ගන්න පුළුවන් මචං...
    මොකද පහුගිය ටිකේ ඔය දුකම මං විඳපු නිසා... තාමත් විඳවන නිසා...
    උඹෙයි මගෙයි කතාවල තියෙන්නෙ පුංචි වෙනස්කම් කිහිපයක් විතරයි...
    උඹට හිත හදාගන්න උපදෙසක් දෙන්න මට තේරෙන්නෙ නැහැ...

    ඒත් උඹේ කතාවත් පද වැලත් කියවද්දි මට එකපාරටම මතක් වුණේ චන්දන ලියනආරච්චි මහත්මයගේ ගීතයක්...

    පමා වැඩී ඔබ.... පමා වැඩී...
    මට මුණ ගැසුණේ ඔබ පසු වී....
    පෙර හමු වී නම්....
    ඇය (*ඔහු) නොපතා මා...
    ඔබටම සිත පුදමි....
    ඔබටම සිත පුදමි //

    * චංචලා එහෙම හිතනව ඇති කියල මට හිතෙනවා...

    ReplyDelete
  9. දිල් ට/-

    ඔයා කියන එක ඇත්ත. අහිමි වන බව හොඳටම දැන දැනත් එයාට ආදරය කරන්න අමාරුයි. මට ඒ දවස්වල දිම උනත් පොඩි බයක් තිබුනා..එයා වෙන කාට හරි අයිති කෙනෙක්දෝ කියලා. එයා ඒ තරමටම ලස්සනයි...ඒ වගේම හොඳයි.
    ඒ හන්දයි මම හැම දේම කල් දැම්මේ. මම කොහොමටවත් කැමති උනේ නෑ , එයාව මට සම්පූර්ණයෙන්ම නැති කර ගන්න.

    එයා වැරදි නෑ..දිල්. කිසිවක් නොදැන එයාට ආදරය කල මගෙයි වැරැද්ද. එයාට මාව දැනෙන්න ඇති කියලා මට දැන් හිතෙනවා. ඒකයි එයා, මම ඉස්සර වෙන්න කලින්, මට මේ දේ කිව්වේ. මාව තව දුරටත් මේ හීනයේ අතරමං නොකර.

    එහෙම බැලුවම එයා මම ගැන පොඩ්ඩක් හරි හිතලා තියෙනවා නේද....

    මමවත් දන් නෑ ..මම එයාට මොන තරඹ් ආදරෙයිද කියලා.
    මම දැන් ..එයාට මගේ ආදරය පොඩ්ඩක් වත් නොපෙන්වා ඉන්නයි උත්සාහ කරන්නේ. එහෙම නොවුනොත් එයා ගොඩක් අසරණ වේවි.

    මට එයාව නොදැක ඉන්න අමාරුයි...ඇත්තමයි.

    මොනවා කරන්නද කියලා තාම හිතා ගන්න බෑ ..දිල්.

    ස්තූතියි ඉස්සෙල්ලම මේ පැත්තට දුවගෙන ඇවිත් මගේ හිත හදන්න හැදුවට...ඔයාට.

    ReplyDelete
  10. නාඳුනන හිතවත /-

    මම ලං වෙන්න හදද් දි එයා හැසිරුනේ, මට එයාව තේරුම් ගන්න බැරි විදිහට. මාව දැනුනත් ..නොදැනෙන විදිහට ඉන්න ඇත්තේ, එයා වෙන කෙනෙක්ට අයිති හන්දා,කියලා දැන් මට තේරෙනවා.

    ඒත් එයා, මගේ මිත්‍රත්වයට කැමති බව.. ඇඟවෙන විදිහට තමයි, ඉන්නේ.
    මම තාම එයාට ආදරෙයි. ඒ වගේම හිත හදා ගන්නත් ගොඩක් අමාරුයි. කොහොමද මෙච්චර ආදරේ කරපු කෙනාව අමතක කරන්නේ.

    මම පුදුම දුකක් මේ දවස් වල විඳින්නේ.

    මේ වගේ වෙලාවට ....මොහොතකට හරි දුක බෙදා ගන්න ආවට..ස්තූතියි...යාලුවා.

    ReplyDelete
  11. ඉලංදාරිය ට/-

    මමත් පුලුවන් තරම් උත්සහ ගන්නේ, මොනවා හරි වැඩක යෙදිලා අවිවේකී වෙන්නයි.ඒත් උදේට හවසට ඉවසිල්ලක් නැතුව දුවන්නේ එයාව දකින්න.

    එයා සතුටින් නම් මටත් ඕන එච්චරයි ..මචං. මම මගේ ආදරය පෙන්නලා එයාට වදයක් වෙන්නෑ කවදාවත්. අයිති වෙන්නම ඕන නෑ නේද ආදරය කරන්න.

    ඒ වගේම මම මගේ ජීවිතය අවුල් කර ගන්නෙත් නෑ. චංචලා හින්දා මම , පිස්සු නැටුවොත් හැමෝම බනින්නේ එයාට. ඒ හන්දා මම කවදාවත්ම එහෙම වෙන්න ඉඩ තියන් නෑ.

    තාම මම එයාට ගොඩක් ආදරෙයි....
    ආදරය කියන්නේ පරිත්‍යාගයක් නම්...මම ඒක උපරිමයෙන් කරනවා මචං.

    මගේ හිතට අස්වැසිල්ලක් උනාට ස්තුතියි...ඉලංදාරියා.

    ReplyDelete
  12. රවා ට/-

    මම දන්නවා...මල්ලි, මම වගේම අවංකවම උඹලත් දුක් වෙන් බව. හිතට හරි හයියක්... මෙහේ යාලුවෝ වගේම , සයිබර් එකේ සෙට් එකත්, පණ වගේ ලඟ ඉන්න එකට. හැමෝම පුලු පුලුවන් විදිහට හදන්නේ හිත හදාගන්න උදව් කරන්න. හුඟක් අය විවිධ විදිහට දුක් වින්දත්..අනිත් එකා දුකට වැටුනම දුවගෙන එන විදිහ දැක්කම..කියන්න වචන නෑ ..මචං.

    ඇත්ත..මම චංචලාට හුඟක් ආදරෙයි...එයා නැතුව මට බෑ ..කියන තරමටම ..ආදරෙයි.ඒ ආදරෙන් එක අංශු මාත්‍රයක් විතරයි මම එයාට දැනෙන්න ඇරලා ඇත්තේ. ඉතුරුවා සේරම මගේ හිතේ තද කරගෙන ඉන්නේ. මේ සේරම එයා
    දැක ගත්තොත්, කවද හරි දවසක, පණ ඇරගෙන මට ආදරය කරන්නත් පුලුවන්.

    ඒත් ...තව කෙනෙකුගේ හිතට දුකක් දීලා, ලබා ගන්න ආදරෙන් ..මට සැනසෙන්න අමාරුයි .... මම දුර්වලයි කියලා මට බනින්න එපා...මචං. ඒ තමයි මගේ විදිය.

    එයා බදිනකම් මම එයා ලඟ ඉන්නවා...ආදරය කරනවා.
    ලඟ නැතත්..දුරින් ඉඳන් හරි මට එයාව දක්න්න ඕන.

    මම පිං කරලා තිබුනොත් එයා මට ලැබෙයි. මම එයා වෙනුවෙන් විදින දුක පෙන්නලා ..ආදරය ලබා ගන්න මට ඕන නෑ.වෙනදටත් වඩා සතුටින් ඉන්න විදිහකුයි මේ දවස් ළුක මම පෙන්නන්නේ. එත් පපුව පැලෙන්න තරම් දුකක් හිතේ තියෙන්නේ..මල්ලී.

    මුල ඉඳන්ම වගේ අදත් හිතට හයියක්..උඹේ හැම වචනයක්ම.
    පිං මලයා..මේවට.

    ReplyDelete
  13. චේජනා ට/-

    මම දන්නවා..චේජනා, මට වත් හරියටම තේරුම් ගන්න බැරි උන කෙනෙක් ගැන, ඔයාලට මොනවත්ම හිතා ගන්න බැරුව ඇති කියලා.

    එදා එයාගේ අමුතු හැසීරිම් රටාවක් ගොඩ නැගුනේ, මගේ ආදරය එයාට පොඩ්ඩක් හරි දැනුන හන්දා කියලා මට දැන් තේරෙනවා. මට අපැහැදිලි කැන් රැසක් එන විදිහට එයා හැසිරුනෙත් මට මේ ගැන පොඩි හරි ඉඟියක් දෙන්න වෙන්නැති.
    මටත් ඒක නොදැනුනාම නෙවෙයි. ඒත් හිත ඒක පිලි ගන්න අකමැති උනා.

    එයා වැරදි නෑ ..චේජනා. මටයි ආදරය නොකර ඉන්න බැරි උනේ.

    හරියටම මොකද කරන්නේ කියලා තාම හිතා ගන්න බැරි වුනාට,
    මට එයාව අමතක කරන්න නම් බෑ.

    අප්‍රමාන වූ මේ දුකේදි..ඔයාලා ලඟ ඉන්න එක , මොන තරම් දෙයක් ද.... මට.

    ReplyDelete
  14. පිස්සා ට/-

    හිතන්නේ නැතුව කොහොම ඉන්නද බං.ඒත් මම උත්සාහ කරනවා. ඒක හිතන තරම් ලේසි නෑ ..මචං.

    මේ කවි ලස්සන ඇත්තේ..චංචලා ගැන ලියන හන්දයි.
    එයාට තියෙන ආදරේට... දැං මට කවි ලියවෙනවා වැඩී.

    ReplyDelete
  15. සුදු මහත්තය ට/-

    ඔව්..මටත් දැං එහෙම හිතෙනවා...මචං.
    එයාට හිතෙන්න ඇති , තව දුරටත් නිහඬ වෙලා හිටියොත්, මට කරන්නේ ලොකු අසාධාරනයක් කියලා.
    මම අහන්න කලින් එයා ඉස්සර උනෙත් ඒ හන්දා වෙන්න ඇති.

    අපි හැමෝම ආදරේ හන්දා පුදුම විදිහට දුක් විදිනවා කේද...

    රවා කියන දේ ඇත්ත. වෙන දෙයක් මොන විදිහට උනත් , මට එයාට ආදරේ නොකර ඉන්න බෑ. මම මගේ වැඩ අවුල් කර ගන්නේ නෑ. මම කැමතිත් නෑ, කෙල්ලෙක්ට නරක නාමයක් දෙන්න, පිස්සු නටලා.

    ඒත් මගේ ලෝකෙ පුදුම තරම් පාලු වෙලා...යාලුවේ.

    ReplyDelete
  16. සන්සරසිඳු ට/-

    උඹේ ආදරය වේදනාවක් වුන කතාව, මම කියවන කොට, මමත් ඒ තත්වෙට වැටිලයි හිටියේ. ඒත් ඒක මට ලියා ගන්න තරම් හයියක් තිබුනේ නෑ. මටත් වඩා චංචලා ගැන බලන් හිවිය උඹල‍ට මේක කියන්නේ කොහොමද කියලා දවස් ගානක්ම කල්පනා කලා. පස්සේ හිතුවා බ්ලොග් එක නවත්තන්නත්. මම මේක පටන් ගත්තෙත්, එයා හන්දා. ඒකයි විඳින්න එන්න කියලා නම දැම්මෙත්. හ්ම්ම්ම්...ඉතිං දැන් මම කියන්නේ කොහොමද - විඳවන්න එන්න - කියලා.

    ඇත්ත.අපේ කතාවල තියෙන්නේ පොඩි වෙනස් කම් කීපයක් විතරයි. ඒ උනාට ඇයි අපට මෙහෙම වෙන්නේ.
    මම දන්නවා...මගේ සීමාවෙම ඉන්න කෙනෙක්ට බෑ කියලා මට උපදෙසක් දෙන්න. ඒත් හිතේ දුක හංඟගෙන , මගේ දුකට ලඟට ආවට ස්තුතියි...සන්සරසිඳු.

    මේ වෙන කොට එයා දන්නවා මම එයාට මොන තරම් ආදරෙයිද කියලා. මම ඒ ගැන මොනවත්ම නොකිව්ව උනත්.එයත් නොතේරුන විදිහට හිටියා වුනත්.

    මමත් උඹ වගේ කාලයට ඉඩ දෙනවා........මචං.

    ReplyDelete