Friday, February 26, 2010

කොතෑන නවතී ද - II කොටස


මම කල්පනා කලා දවස් ගානක්ම. අගක් මුලක් පේන තෙක් මානයකවත් නැති දෙයක් මොකට බ්ලොග් එකට දැම්මද කියල. දිගක් පලලක් නොදැන නව කතාවක් කියලා ලේබලයකුත් දාගෙන මම වැටිච්ච අමාරුවක තරම. මොන තරම් බලාපොරොත්තු ගොන්නක් හිතේ පුරෝගෙනද..මේ දේවතා එළිය දකින්න, මම වලිකන්නේ. මොකෝ හැමදාම ලියන්නද.. අදත් සුපුරුදු විදියට චාටර් උනා කියලා. ඇත්ත ඒක උනත්, කියවන අයට ඒක බෝරින් කියලා මම නොදන්නවැයි. ඒකයි පහුගිය දවස් ටිකේ හාවක් හූවක් නැතුව හිටියේ.

ඒත්..මම ඉතිං.. එක් සිතින්.. එක් හදින් ..ආදරෙන්.. සෙනෙහසින්.. සීන් එකට එන්ටර් වෙලා හිටපු හන්දා වෙන්නැති.................................මේන් වෙච්ච දේ...

පහුගිය දවස් ගැන කිව්වොත්, එයාව ම‍ට හමු නූනම නෙවෙයි. හාවා හඳ දකිනවා වගේ.. දවස් ගානකටම, 1ක දවසක්,2ක් තමයි හමුවුනේ. හැමදාම මග බලනවා..හරියට දන්න අදුනන, වෙන කවුරුවත් නැති එකෙක් වගේ. එයාවම හොයනවා. නොදැක්ක දවසට, ඇත්තමයි මට මහ ලොතු දුකක් දැනෙනවා. ඔයාල හිනා වේවි.. බලන් ඉඳලා ඉඳලා, ආපු නැති උනාම..මගේ ඇස් වලට කඳුළු ආපු දවස් පවා තිබුනා. ඔන්න ඉතිං දැන් කියන්නෙපා..මු නං මාර හෝතම්බුවෙක්..අපටත් එක්ක නෝන්ඩියි...වැඩේ සෙට් කර ගන්නත් කලින්ම , මූ අඬන්නත් පටන් අරන් කියලා. ඇට මස් වලට දැනෙන, හිත හිරි වට්ටන..රූප‍යකට ආදරය හිතුනාම, අඬන එකත් මහ කජ්ජක්ද කියලා සහෘද හැමෝටම තේරේවි..හිහ්..හිහ්..හී.

ඉතිං කොහොමින් කොහොම හරි, මේ දේවදුතිකාවට මගේ අසහනය දැන් ටිකක් විතර තේරිලා. මුලදි ගනන් උස්සලා හිටියත් දැන් නම් හිත් පොජ්ජ මං දිහාට මන්දු කොරනවා වගේ. මම එයා ගැන උනන්දුයි කියලා, බොහොම වැදගත් විදියට පෙන්නන්නනේ මට ඕන වෙලා තිබුනේ. ඒ හන්දා ..කොල්ලා දන්න සෙල්ලං සේරම දැම්මා, බොහෝම ඩීසන්ට් එකට. ඒවායේ ප්‍රථිළුල නිසා තමයි, දැන් පොඩ්ඩක් මේ පැත්ත බලන්නෙවත්. ඒත් මූණ ක‍ටේ හිනාවක් නම් නෑ.. යාන්තමට, ලොකු ඇස් දෙක කරකවලා බලලා, අහක බලා ගන්නවා. හපෝ..ඔයත් මැදයි... කාපු කට්ටේ හැටියටයි.. විඳපු දුකේ තරමටයි.

ඔහොම කිව්වට මට වෙලාවකට හිතෙනවා, ඉලව් ලව් එක පැත්තකින් තියලා උස්සලා පොලොවෙ ගහන්නත්. ඇයි වදේ..මගෙත් එක්ක තමයි මේකිට ඩිංගක් හිනා වෙන්න බැරි. යාළුවො එක්ක කතාවයි, හිනාවයි ඉවරයක් නෑ. ( හිනාව නම් මාරම හැඩයි අප්පා..කියලා වැඩක් නෑ..ම්ම්ම්හ්..) මම මේකි මත්තෙම මැරෙන්න හදනවා. එයාට ගානක්වත් නෑ. පුදුම ආඩම්බර කමක්නේ යකෝ තියෙන්නේ. ඒ හන්දමයි මම, මේ අංගනාව කොහොම හරි දා ගන්න ට්‍රයි කරන්නේ. මට ඔය, ලොකුකම බස්සන්න තියෙන්නෙත්, පුදුම උනක්.
ඇත්තම කිව්වොත් මාත් ආස නෑ ඔය සිල්ලර කෑලි වලට. කොච්චර මඩ නා ගත්තත් මොකද.. නෙලා ගන්නේ සුදු නෙළුම් මලක් නම්..!!!

මෙහෙම හිත හිතා ඉන්න අතරෙදි තමයි දවස උදා වුනේ.

මම දන්නවා, අද නම් හොඳටම පරක්කූයි කියලා. ඒත් තියෙන වැඩ ටික බාගෙට කරලා යන්නයෑ. මොන දේ උනත්, කරන දේ අතරමග දාලා යන කෙනෙක් නෙවෙයි මම. සේරම වැඩ ටික සෙට්ල් කරලා දනි පණි ගාලා බැස්සා එලියට. අද නම් Train එක අල්ලන්න වෙන්නේ නෑ. එහෙම උනොත් බස් එකේවත් යනවා.

අම්මෝ..එතකොටම පපුව හෝස් ගාලා පත්තූ උනා. ඒ කියන්නේ, මගේ සුරංගනාව දකින්න වෙන්නෙ නෑ කියන එක නේද..? ඒත් වෙන මොනා කරන්න ද? දැන් train එක ගිහින් විනාඩි 7කටත් වැඩියි.

දුකයි........ඒත් හිත හදා ගන්නම වෙනවා. ඇත්තම කිව්වොත්, මට බස් එකේ යනවා නම්, කලින් ගෙදර යන්න පුළුවන්. වෙනසකටත් එක්කයි, ඉඳලා හිටලා train එකේ ගියේ. එහෙම ගිය දවසක අහම්බෙන් නේ, මට අරයව දකින්න ලැබුනේ. එදා ඉඳන් මම යන්නෙම train එකේ, මේ මානවිකාව දකින්න ඕන හන්දා. ඕං අද තමයි, මාස ගානකින් ආයෙත් මම බස් එකේ යන්නේ.

ඒකෙත් සෙනඟ පුරෝලා එකයි. නෝ සීට්. හරිම මහන්සියි, දුවලත් නෙ ආවේ. එයා අද train එකේ හිටියද දන්නෑ. අනිවාර්යෙන් ඉන්න ඇති. මට උනොත් වෙන්නේ එහෙමනේ. හිතා ගන්න පුලුවන් නේද.. තියෙන
" ලක් " එක. තනි අන්ඩෙන් අමාරුවෙන් හිටගෙන හිටියේ. හිතේ දුක වැඩි කමට ද මන්දා, ඇ‍‍ඟම රිදෙනවා. සිට් එකක් ලැබුනා නම්, ඇස් දෙක පියාගෙන මනෝ පාරක්වත් දාගෙන යන්න තිබුනා. ෂෙහ්.. ඒකත් නෑනේ.

එයා train එකට නඟින හරියෙදි මට ආයෙමත් මතක් වුනා. එතන station එක පහුවුන ගමන්මයි, බස් හෝල්ට් එක තියෙන්නේ. නැති බව හොඳටම දන්න හින්දා බැලුවෙ නෑ, ඒ දිහා නිකන්වත්. බස් එක ඇද්දුවා. මං කල්පනා සයුරට වැටුනා, ආයෙමත්.

බ්රාස්..ස්..ස්...

ගහපු බ්රේක් පාරට මම, විසි වුනා සීට් 2ක් ඉස්සරහට. අල්ලගෙන නෙවෙයිද මන්දා ඉඳලා තියෙන්නේ. වස නෝනඩිය. ඒ අස්සේ මට ඇහුනා දෙන්නෙක්,තුන් දෙනෙක් ඩ්‍රයිවර්ගෙ මව් පාර්ශවය මතක් කරනවා. මං අතින් කාගෙ හරි කකුල පෑගුනා වගේ මතකයි. සොරි කියන්නත් මතක නැති උනා. ආචාරශීලි වෙන්නත් එපැයි..

" සොරි " කියාගෙන මම හැරුනා ලඟ හිටිය කාන්තාව දිහාවට.

මගේ ඇස් නිලංකාර වෙලා ගියා. දෙයියනේ මේ අර වරංගනාව නේද? මෙයා කොහොමද බස් එකේ ඉන්නේ.කොතනින්ද නැග්ගේ. ප්‍රශ්න කෝටියයි. පුදුමේ පලාගෙන හීන් සතුටක් මෝදු උනා. හිතුව තරම්ම, මම අවාසනාවන්ත නෑ, එහෙනම්. " අද දෙවියන් මාගේ මූණ බැලුවා....... කාලෙකට පස්සේ..." මට සිංදුව කෑ ගහලා කියන්න හිතුනා, ආපු ජොලියට.

මම මේ පිස්සු කෙලිනවා. සොරි කිව්වට, කිසිම රිප්ලයි එකක් දුන්නෙ නෑ නේද..මේකි. ඒක මතක් උනාම සතුටු කන්ද එහෙන් පිටින්ම බිමට සමතලා උනා.

ඒ අස්සේ, අපි ලඟ තිබුන සීට් එකේ හිටපු දෙන්නම, බහින්න නැගිට්ටා. අරයා ගිහින් වාඩි උනා.
වාඩි වෙනවද නෑද්ද..මට හිතා ගන්න බෑ. "මේ වගේ දවසක් ආයෙ එන්නෙ නෑ..වාඩිවෙයන් යකෝ..!!"මගේ හිත මර ලතෝනි දෙනවා. වෙන දෙයක් උනාදෙන්. ලඟ හිටිය එකාවත් පෙරලගෙන, මමත් වාඩි උනා.

මම එයා ලඟ.....එයා මගේ ලඟ. හිනෙකින්වත් හිතුවද මේ වගේ චාන්ස් එකක් ලැබෙයි කියලා. මගේ පපුව ඩග්..ඩිග් ගානවා. එයාට නම් ගානක්වත් නෑ. නිකංවත් මේ පැත්ත බලන්නෑ. ජනේ‍ලෙන්, එහා පැත්ත බලාගෙන යන හැටි විතරක්. ඇයි යකෝ.... පුදුම ඝන කමක් නේ, මෙයාට තියෙන්නේ. කොහොමද මෙයාලා මේ තරම් ඉවසීම පුරුදු කරලා තියෙන්නේ. අපට තමයි දෙයක් හිතේ තද කරගෙන, ඉන්න බැරි.
මෙයා හොඳටම දන්නවා, මම ට්‍රයි කියලා. ඒත් ගානක් නැතුව ඉන්න හැටි.

මොනාද.. මම මේ හිතන විකාර. මේ.. ඕවා හිත හිත ඉන්න ඕන වෙලාවක්ද..? කොහොම හරි මෙයා එක්ක කතාවට සෙට් වෙන විදිහක් හිතන්නෙ නැතුව.. මගුලක් කරනවා.

මොනවා අහන්නද..දැනටමත් අම්බානක නෝන්ඩි වෙලා නේ, ඉන්නේ. ඒත් දෙයියනේ මේ වගේ අවස්ථාවක් ආයේ කවදා උදා වෙයිද කවුද දන්නේ. වෙන දෙයක් උනාදෙන්. ගත්තා ඇඟ පුරාම තියෙන පුරුෂ ධෛර්ය හිතට නෙවෙයි..කටට.

" Excuse me.. .. ඔයා High School එකේ ද... "

එයා හැරුනා මම දිහාට.................. " නෑ "

ඔරවලා වගේ, එහෙම කියලා ආපහු හැරුනා අනිත් පැත්තට. මට එලෝ පොල් පෙනුනා. ඇරගත්ත කට වහගන්නත් අමතක වුනා. ලැජ්ජාවේ බෑ. කවුරු හරි මේක දැක්කාවත්ද.? අනේ දෙයියනේ දැං ඉතිං සේරම ඉවරයි නේද..

මට නං බෑ, ආයෙම මෙයාට මූණ දෙන්න. මට තිබුනා තව ටිකක් ඉවසන්න. මම ඇහුවේ ගොන් ප්‍රශ්නයක්ද..මෙතනින් නැගිටලා යන්නමයි හිත. ලැජ්ජාවයි..දුකයි...අනේ මන්දා...........

"මම වගේ, ඔයාගේ යාළුවෙක් ඉන්නවද High School එකේ.. "
මෙන්න බොලේ මෙයා කතා කරනවා. මට වචනත් නෑ.

"ඔව්..ඔව්.. " එච්චරයි මට කියවුනේ.

" මම හිතුවා......... ඔයාට වරදින්න ඇති කියලා "

" ඔව්..මගේ ඉස්කෝලේ යාළුවෙක් කියලයි මම රැවටුනේ ..... I am sorry "
( එයා ඒ විදියට හිතපු එක හොඳයි. මාත් ඒ විදිහටම act කරා.)

" ආ ඒකට කමක් නෑ " එහෙම කියලා, එයා ලස්සනට හිනා උනා.

" අද ඇයි බස් එකේ.. ඔයා train එකේ නේද යන්නේ....මම කිප දවසක් ඔයාව train එකේදි දැකලා තියෙනවා."
ඔය පැන්නේ බලළා මල්ලෙන් එලියට. දැන් මට ෂුවර් මෙයත් මං ගැන interest කියලා. සමහර විට මටත් වඩා මං ගැන හොයලා වගේ....

" ඔව්. අද පොඩ්ඩක් ලේට් වුනා. මාත් ඔයාව දැකලා තියෙනවා. පයාගලින් නේද නගින්නේ....."

මේ විදිහට මම බහිනකල්, අපි කතා කර කර ගියා. වෙලාව යනවා දැනුනේවත් නෑ. වෙනදා මේ දුර ගෙවා ගන්නේ මොන තරම් අමාරුවෙන්ද..? තව ඩිංගෙන්, මට බහින තැනත් අමතක වෙනවා, එයා මතක් කලේ නැත්නම්. කතා කරා කිව්වට, බොහොම සාමාන්‍ය දේවල් තමයි. එයාට කතා කරන්න දිලා, මම කලේ අහගෙන ඉන්න එක. ඒ අතරෙදි, එයාගෙ ලස්සන මූණ රසවිඳින්නත් මම අමතක කලේ නෑ.

ආ.....මේකත් කියන්න එපැයි. මම බහින්න, ඔන්න මෙන්න කියලා තියෙද්දි, එයා බහින තැනයි...එයාගේ නමයි..අහගත්තා. මම හිතුවා කියන එකක් නැති වෙයිද කියලත්. අනේ...කිසි වදයක් නොදී ඔය කිව්වේ යස අගේට. පහුගිය දවස් ටිකේ දීපු වදවල තරමට එයාටම දුක ඇති...." ඔය මැඩෙව්වා මැදෑ කියලා "

මොකක්ද දන්නවද නම.......චංචලා.........ලස්සන නමක් නේද..එයා වගේම නමත් ලස්සනයි..මටනම්.

" ඔයා බහිනවා නේද...බුදු සරණයි..ගුඩ් නයිට් " එයා කිව්වා.
අනේ ... මට හරිම ආදරයක් වගේම , ලොකු පැහැදිමකුත් ඇති උනා එයා ගැන.

" අපි ආයෙම හමු වෙමු.... බුදු සරණයි..ගුඩ් නයිට්. පරෙස්සමින් යන්න "

මට මතකයි, එයා හිනා වෙලා ඔළුව වැනුවා. මම බස් එකෙන් බැස්සා. නෑ බැස්සා නෙවෙයි පැන්නා. සතුට මෙච්චරයි කියලා කියා ගන්න බෑ.

" හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නෑටුවා....
එන හිමිදිරි සිහිලෙට සිතුවිලි කිති කෑවුනා....
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා....
මදහාස නගා ඇය හොරැහින් වගෙ බෑලුවා... "

කොහොමද මේ සිංදුව. හරියට මටම හදලා වගේ. මේකත් මුමුණ මුමුණ, මම ගෙදර ගියේ.. මහා යුද්දයකින් ජය ගත්ත වීර සෙන්පතියෙක්....වගේ, කියා ගන්න බැරි තරම් සතුටකින්..........................

දෑං ඉතිං.. .... මාගේ අනාගතය ඔබය... වර්තමානය ද ඔබය.....හැම දවසකම සතුටද.. ඔබමය...චංචලා.......!!!!
( මට නන්දා මාලිනියද, ඒ අතර සිහි විය )


16 comments:

  1. මෙක තමයි මචං ජිවිතෙ.... අපි චාටර් කාල, දත් ටික මැදගෙන, සැන් පව්ඩර් ගාගෙන ගිහින් දත කාගෙන උන්ගෙන් අහානවා.... උන්ගෙ හිතෙ අපි විහිලු කරන්නෙ කියලා.. කොහොම හරි හිනියට කිට්ටු කරාද චංචලාට....සින්ඩියෙ නැද්ද ඔයා....

    ReplyDelete
  2. ඔව්. මචං ..ඔව්. මම බොහෝම අමාරුවෙන් එයාට කිට්ටු කරා. කවදාවත් නොකරපු තරම් කැප කිරීම් ගොඩක් කලා.. ඒ වෙනුවෙන්.
    උඹ හරි.. මේකටත් මොනවා වෙයිද දන්නෑ..හෙට දවසෙදි.
    මොනවා උනත්,මම එයාට ඇත්තටම ආද‍රෙයි..මචං.

    ස්තුතියි...රවා...
    මාත් එක්ක ඉන්නවට.

    ReplyDelete
  3. හක් හක් හා...
    නියමයි බං..
    උඹ ඔය ගානට කිට්ටු කරලා තියෙන්නේ චංචලාට ..

    ReplyDelete
  4. දැන් නම් මටත් හිනා යනවා.
    ඒත් කාපු කට්ට මතක් වෙනකොට...ඇ‍ඩෙනවා බං....

    ReplyDelete
  5. හික්.. හික්... ඔහොම නෙමෙයි... තව තව කටු ඉස්සරහාට කන්න වෙයි.... තාම නියම කට්ටක් කලා නැහැ වගෙ හැබැයි කතාවෙන් තෙරෙන්නෙ..

    ReplyDelete
  6. මේකේ හැම දේම ලියන්න බෑනේ ..මලයා.
    තාර බර අඩු කරලා තමයි ලියලා තියෙන්නේ.
    කරපු ..කියපු ගොන් වැඩ ටික ඔක්කොම දැම්මොත්.. ඔයාලට හිනා වෙලාම පන යයි.

    ඒ විතරක් නෙවෙයි, මූ නම් මහ පොල් බූරුවෙක් කියලා, මට නම්බු නාමයකුත් දේවි.
    හිහ්...හිහ්...හී.........

    ReplyDelete
  7. අහන්නත් හරි ආසයි කතන්දරේ.. මෙතෙක් ආ දුර හරි ලස්සනයි ... ඒත් පරිස්සමින්... සුදු මලක් නෙළුමක් කියලා ‍නෙලාගත්තත් ... දවසකදි කිඩාරම් මලක් වෙන්නත් පුළුවන්.. චංචලාට නම් එහෙම වෙන්න දෙන්නෙපා....

    රතු...

    ReplyDelete
  8. හ්ම්ම්....නෙලුම් මලක්, තියන්නේ නෙලුම් මලකට.
    පිපෙන්නෙත්, පර වෙන්නෙත්..නෙලුමක් විදිහටමයි.

    චංචලාත් එහෙමයි...එයා චංචලාමය තමයි .. මට නම්.

    comment එකට thanks රතු....

    ReplyDelete
  9. නැයි හැමදෙම ලියන්න බැරි ... ඔයාව කවුරුත් දන්නෙ නැහැ... ඔයාට කවුරුත් මුකුත් කියන්නෙ නැහැ.... ඔයාගෙ ප්‍රතිරූපයට කිසිම හානියක් නැහැ...... ඔන දෙයක් ප්‍රිති වෙසක් කියලා හැමදෙම ඔයගෙ ඇස් දෙකෙන් දකින දෙවල ලියන්න. එතකොට තමයි මිනිස්සු අදුන ගන්නෙ නිල් අහස කියන්නෙ කවුද කියලා.....

    ReplyDelete
  10. ඔයා කියන එක, හරි තමා..මිත්‍රයා.
    ඒත්, තාම මම මේකට ට්‍රයි කිරිම නේ කරන්නේ.කවුද දන්නේ මේ ආදර අන්දරයට මොනා වෙයිද කියලා......
    වැඩේ හරි ගියොත්,මම මගේ බ්ලොග් එක එයාටත් පෙන්නන්න එපැයි.

    එයා හින්දා, මම විඳපු දුක, කාපු කටු සේරම මේකෙ දැම්මොත්, එයා‍ට ගොඩක් දුක හිතෙයි.

    ඒ හන්දයි..රවා, මම සමහර දේවල් නොලිව්වේ.

    ReplyDelete
  11. කට්ට කාගෙන ලබාගන්න දේක අගේ වැඩීලු. මට මතකයි Campus එකේදි එක අයියා කෙනෙක් මගෙ යාලුවට අවුරුදු 4රම try කලා.මගෙ යාලුවා " හා " කිව්වේ out වෙනදා. දැන් ඒ දෙන්න marry කරලා...shooooooi පවුලක් හදාගෙන ඉන්නවා...:)

    ReplyDelete
  12. සතුටුයි...ඔයාගෙ යාලුවා ගැන..ගොඩක්.

    ඔයා කියන එක, හරියට හරි ..දිල්.
    මම, මගේ ජීවිතය බොහොම අමාරුවෙන්, ගොඩ නගා ගත්ත කෙනෙක්.
    විඳපු දුක්..කාපු කටු..අනන්තයි.
    හැබැයි මම, දුක දිනා..ජිවිතය ජය ගන්න පුලුවන් කියලා හිතක කෙනෙක්.

    මේ ආදරයත්, මට ඒ විදියට ලං කර ගන්න..පුලුවන් උනොත්..!!

    ස්තූතියි , දිල්...නිල් අහසට පායා ...ආවාට.

    ReplyDelete
  13. හොදයි හොදයි දිග ගමනක් යන්න සුභ පතනවා.......

    ReplyDelete
  14. දිරියක් දෙන්න.. මගේ නවාතැනටත්, ගොඩ වැදුනට..ගොඩක් සතුටුයි

    ස්තූතියි.. චන්දික .. හැමදේටම.

    ReplyDelete
  15. අදයි මේ බ්ලොග් එකට ගොඩ වැදුනෙ. ලස්සනට ලියලා තියනවා මේක.එක හුස්මට කියෙවුවා. සුබ පැතුම් යාලුවා. ඔබට ජය.

    ReplyDelete
  16. ලොකු හයියක් ඔය වචන ටික මට...Raven.
    ස්තුතියි, යාලුවා....හොයා ගෙන ඇවිත්, දිරි දෙන්න තරම්, නිහතමානී විම ගැන.

    ReplyDelete