
ඒත්..මම ඉතිං.. එක් සිතින්.. එක් හදින් ..ආදරෙන්.. සෙනෙහසින්.. සීන් එකට එන්ටර් වෙලා හිටපු හන්දා වෙන්නැති.................................මේන් වෙච්ච දේ...
පහුගිය දවස් ගැන කිව්වොත්, එයාව මට හමු නූනම නෙවෙයි. හාවා හඳ දකිනවා වගේ.. දවස් ගානකටම, 1ක දවසක්,2ක් තමයි හමුවුනේ. හැමදාම මග බලනවා..හරියට දන්න අදුනන, වෙන කවුරුවත් නැති එකෙක් වගේ. එයාවම හොයනවා. නොදැක්ක දවසට, ඇත්තමයි මට මහ ලොතු දුකක් දැනෙනවා. ඔයාල හිනා වේවි.. බලන් ඉඳලා ඉඳලා, ආපු නැති උනාම..මගේ ඇස් වලට කඳුළු ආපු දවස් පවා තිබුනා. ඔන්න ඉතිං දැන් කියන්නෙපා..මු නං මාර හෝතම්බුවෙක්..අපටත් එක්ක නෝන්ඩියි...වැඩේ සෙට් කර ගන්නත් කලින්ම , මූ අඬන්නත් පටන් අරන් කියලා. ඇට මස් වලට දැනෙන, හිත හිරි වට්ටන..රූපයකට ආදරය හිතුනාම, අඬන එකත් මහ කජ්ජක්ද කියලා සහෘද හැමෝටම තේරේවි..හිහ්..හිහ්..හී.
ඉතිං කොහොමින් කොහොම හරි, මේ දේවදුතිකාවට මගේ අසහනය දැන් ටිකක් විතර තේරිලා. මුලදි ගනන් උස්සලා හිටියත් දැන් නම් හිත් පොජ්ජ මං දිහාට මන්දු කොරනවා වගේ. මම එයා ගැන උනන්දුයි කියලා, බොහොම වැදගත් විදියට පෙන්නන්නනේ මට ඕන වෙලා තිබුනේ. ඒ හන්දා ..කොල්ලා දන්න සෙල්ලං සේරම දැම්මා, බොහෝම ඩීසන්ට් එකට. ඒවායේ ප්‍රථිළුල නිසා තමයි, දැන් පොඩ්ඩක් මේ පැත්ත බලන්නෙවත්. ඒත් මූණ කටේ හිනාවක් නම් නෑ.. යාන්තමට, ලොකු ඇස් දෙක කරකවලා බලලා, අහක බලා ගන්නවා. හපෝ..ඔයත් මැදයි... කාපු කට්ටේ හැටියටයි.. විඳපු දුකේ තරමටයි.
ඔහොම කිව්වට මට වෙලාවකට හිතෙනවා, ඉලව් ලව් එක පැත්තකින් තියලා උස්සලා පොලොවෙ ගහන්නත්. ඇයි වදේ..මගෙත් එක්ක තමයි මේකිට ඩිංගක් හිනා වෙන්න බැරි. යාළුවො එක්ක කතාවයි, හිනාවයි ඉවරයක් නෑ. ( හිනාව නම් මාරම හැඩයි අප්පා..කියලා වැඩක් නෑ..ම්ම්ම්හ්..) මම මේකි මත්තෙම මැරෙන්න හදනවා. එයාට ගානක්වත් නෑ. පුදුම ආඩම්බර කමක්නේ යකෝ තියෙන්නේ. ඒ හන්දමයි මම, මේ අංගනාව කොහොම හරි දා ගන්න ට්‍රයි කරන්නේ. මට ඔය, ලොකුකම බස්සන්න තියෙන්නෙත්, පුදුම උනක්.
ඇත්තම කිව්වොත් මාත් ආස නෑ ඔය සිල්ලර කෑලි වලට. කොච්චර මඩ නා ගත්තත් මොකද.. නෙලා ගන්නේ සුදු නෙළුම් මලක් නම්..!!!
මෙහෙම හිත හිතා ඉන්න අතරෙදි තමයි දවස උදා වුනේ.
මම දන්නවා, අද නම් හොඳටම පරක්කූයි කියලා. ඒත් තියෙන වැඩ ටික බාගෙට කරලා යන්නයෑ. මොන දේ උනත්, කරන දේ අතරමග දාලා යන කෙනෙක් නෙවෙයි මම. සේරම වැඩ ටික සෙට්ල් කරලා දනි පණි ගාලා බැස්සා එලියට. අද නම් Train එක අල්ලන්න වෙන්නේ නෑ. එහෙම උනොත් බස් එකේවත් යනවා.
අම්මෝ..එතකොටම පපුව හෝස් ගාලා පත්තූ උනා. ඒ කියන්නේ, මගේ සුරංගනාව දකින්න වෙන්නෙ නෑ කියන එක නේද..? ඒත් වෙන මොනා කරන්න ද? දැන් train එක ගිහින් විනාඩි 7කටත් වැඩියි.
දුකයි........ඒත් හිත හදා ගන්නම වෙනවා. ඇත්තම කිව්වොත්, මට බස් එකේ යනවා නම්, කලින් ගෙදර යන්න පුළුවන්. වෙනසකටත් එක්කයි, ඉඳලා හිටලා train එකේ ගියේ. එහෙම ගිය දවසක අහම්බෙන් නේ, මට අරයව දකින්න ලැබුනේ. එදා ඉඳන් මම යන්නෙම train එකේ, මේ මානවිකාව දකින්න ඕන හන්දා. ඕං අද තමයි, මාස ගානකින් ආයෙත් මම බස් එකේ යන්නේ.
ඒකෙත් සෙනඟ පුරෝලා එකයි. නෝ සීට්. හරිම මහන්සියි, දුවලත් නෙ ආවේ. එයා අද train එකේ හිටියද දන්නෑ. අනිවාර්යෙන් ඉන්න ඇති. මට උනොත් වෙන්නේ එහෙමනේ. හිතා ගන්න පුලුවන් නේද.. තියෙන
" ලක් " එක. තනි අන්ඩෙන් අමාරුවෙන් හිටගෙන හිටියේ. හිතේ දුක වැඩි කමට ද මන්දා, ඇඟම රිදෙනවා. සිට් එකක් ලැබුනා නම්, ඇස් දෙක පියාගෙන මනෝ පාරක්වත් දාගෙන යන්න තිබුනා. ෂෙහ්.. ඒකත් නෑනේ.
එයා train එකට නඟින හරියෙදි මට ආයෙමත් මතක් වුනා. එතන station එක පහුවුන ගමන්මයි, බස් හෝල්ට් එක තියෙන්නේ. නැති බව හොඳටම දන්න හින්දා බැලුවෙ නෑ, ඒ දිහා නිකන්වත්. බස් එක ඇද්දුවා. මං කල්පනා සයුරට වැටුනා, ආයෙමත්.
බ්රාස්..ස්..ස්...
ගහපු බ්රේක් පාරට මම, විසි වුනා සීට් 2ක් ඉස්සරහට. අල්ලගෙන නෙවෙයිද මන්දා ඉඳලා තියෙන්නේ. වස නෝනඩිය. ඒ අස්සේ මට ඇහුනා දෙන්නෙක්,තුන් දෙනෙක් ඩ්‍රයිවර්ගෙ මව් පාර්ශවය මතක් කරනවා. මං අතින් කාගෙ හරි කකුල පෑගුනා වගේ මතකයි. සොරි කියන්නත් මතක නැති උනා. ආචාරශීලි වෙන්නත් එපැයි..
" සොරි " කියාගෙන මම හැරුනා ලඟ හිටිය කාන්තාව දිහාවට.
මගේ ඇස් නිලංකාර වෙලා ගියා. දෙයියනේ මේ අර වරංගනාව නේද? මෙයා කොහොමද බස් එකේ ඉන්නේ.කොතනින්ද නැග්ගේ. ප්‍රශ්න කෝටියයි. පුදුමේ පලාගෙන හීන් සතුටක් මෝදු උනා. හිතුව තරම්ම, මම අවාසනාවන්ත නෑ, එහෙනම්. " අද දෙවියන් මාගේ මූණ බැලුවා....... කාලෙකට පස්සේ..." මට සිංදුව කෑ ගහලා කියන්න හිතුනා, ආපු ජොලියට.
මම මේ පිස්සු කෙලිනවා. සොරි කිව්වට, කිසිම රිප්ලයි එකක් දුන්නෙ නෑ නේද..මේකි. ඒක මතක් උනාම සතුටු කන්ද එහෙන් පිටින්ම බිමට සමතලා උනා.
ඒ අස්සේ, අපි ලඟ තිබුන සීට් එකේ හිටපු දෙන්නම, බහින්න නැගිට්ටා. අරයා ගිහින් වාඩි උනා.
වාඩි වෙනවද නෑද්ද..මට හිතා ගන්න බෑ. "මේ වගේ දවසක් ආයෙ එන්නෙ නෑ..වාඩිවෙයන් යකෝ..!!"මගේ හිත මර ලතෝනි දෙනවා. වෙන දෙයක් උනාදෙන්. ලඟ හිටිය එකාවත් පෙරලගෙන, මමත් වාඩි උනා.
මම එයා ලඟ.....එයා මගේ ලඟ. හිනෙකින්වත් හිතුවද මේ වගේ චාන්ස් එකක් ලැබෙයි කියලා. මගේ පපුව ඩග්..ඩිග් ගානවා. එයාට නම් ගානක්වත් නෑ. නිකංවත් මේ පැත්ත බලන්නෑ. ජනේලෙන්, එහා පැත්ත බලාගෙන යන හැටි විතරක්. ඇයි යකෝ.... පුදුම ඝන කමක් නේ, මෙයාට තියෙන්නේ. කොහොමද මෙයාලා මේ තරම් ඉවසීම පුරුදු කරලා තියෙන්නේ. අපට තමයි දෙයක් හිතේ තද කරගෙන, ඉන්න බැරි.
මෙයා හොඳටම දන්නවා, මම ට්‍රයි කියලා. ඒත් ගානක් නැතුව ඉන්න හැටි.
මොනාද.. මම මේ හිතන විකාර. මේ.. ඕවා හිත හිත ඉන්න ඕන වෙලාවක්ද..? කොහොම හරි මෙයා එක්ක කතාවට සෙට් වෙන විදිහක් හිතන්නෙ නැතුව.. මගුලක් කරනවා.
මොනවා අහන්නද..දැනටමත් අම්බානක නෝන්ඩි වෙලා නේ, ඉන්නේ. ඒත් දෙයියනේ මේ වගේ අවස්ථාවක් ආයේ කවදා උදා වෙයිද කවුද දන්නේ. වෙන දෙයක් උනාදෙන්. ගත්තා ඇඟ පුරාම තියෙන පුරුෂ ධෛර්ය හිතට නෙවෙයි..කටට.
" Excuse me.. .. ඔයා High School එකේ ද... "
එයා හැරුනා මම දිහාට.................. " නෑ "
ඔරවලා වගේ, එහෙම කියලා ආපහු හැරුනා අනිත් පැත්තට. මට එලෝ පොල් පෙනුනා. ඇරගත්ත කට වහගන්නත් අමතක වුනා. ලැජ්ජාවේ බෑ. කවුරු හරි මේක දැක්කාවත්ද.? අනේ දෙයියනේ දැං ඉතිං සේරම ඉවරයි නේද..
මට නං බෑ, ආයෙම මෙයාට මූණ දෙන්න. මට තිබුනා තව ටිකක් ඉවසන්න. මම ඇහුවේ ගොන් ප්‍රශ්නයක්ද..මෙතනින් නැගිටලා යන්නමයි හිත. ලැජ්ජාවයි..දුකයි...අනේ මන්දා...........
"මම වගේ, ඔයාගේ යාළුවෙක් ඉන්නවද High School එකේ.. "
මෙන්න බොලේ මෙයා කතා කරනවා. මට වචනත් නෑ.
"ඔව්..ඔව්.. " එච්චරයි මට කියවුනේ.
" මම හිතුවා......... ඔයාට වරදින්න ඇති කියලා "
" ඔව්..මගේ ඉස්කෝලේ යාළුවෙක් කියලයි මම රැවටුනේ ..... I am sorry "
( එයා ඒ විදියට හිතපු එක හොඳයි. මාත් ඒ විදිහටම act කරා.)
" ආ ඒකට කමක් නෑ " එහෙම කියලා, එයා ලස්සනට හිනා උනා.
" අද ඇයි බස් එකේ.. ඔයා train එකේ නේද යන්නේ....මම කිප දවසක් ඔයාව train එකේදි දැකලා තියෙනවා."
ඔය පැන්නේ බලළා මල්ලෙන් එලියට. දැන් මට ෂුවර් මෙයත් මං ගැන interest කියලා. සමහර විට මටත් වඩා මං ගැන හොයලා වගේ....
" ඔව්. අද පොඩ්ඩක් ලේට් වුනා. මාත් ඔයාව දැකලා තියෙනවා. පයාගලින් නේද නගින්නේ....."
මේ විදිහට මම බහිනකල්, අපි කතා කර කර ගියා. වෙලාව යනවා දැනුනේවත් නෑ. වෙනදා මේ දුර ගෙවා ගන්නේ මොන තරම් අමාරුවෙන්ද..? තව ඩිංගෙන්, මට බහින තැනත් අමතක වෙනවා, එයා මතක් කලේ නැත්නම්. කතා කරා කිව්වට, බොහොම සාමාන්‍ය දේවල් තමයි. එයාට කතා කරන්න දිලා, මම කලේ අහගෙන ඉන්න එක. ඒ අතරෙදි, එයාගෙ ලස්සන මූණ රසවිඳින්නත් මම අමතක කලේ නෑ.
ආ.....මේකත් කියන්න එපැයි. මම බහින්න, ඔන්න මෙන්න කියලා තියෙද්දි, එයා බහින තැනයි...එයාගේ නමයි..අහගත්තා. මම හිතුවා කියන එකක් නැති වෙයිද කියලත්. අනේ...කිසි වදයක් නොදී ඔය කිව්වේ යස අගේට. පහුගිය දවස් ටිකේ දීපු වදවල තරමට එයාටම දුක ඇති...." ඔය මැඩෙව්වා මැදෑ කියලා "
මොකක්ද දන්නවද නම.......චංචලා.........ලස්සන නමක් නේද..එයා වගේම නමත් ලස්සනයි..මටනම්.
" ඔයා බහිනවා නේද...බුදු සරණයි..ගුඩ් නයිට් " එයා කිව්වා.
අනේ ... මට හරිම ආදරයක් වගේම , ලොකු පැහැදිමකුත් ඇති උනා එයා ගැන.
" අපි ආයෙම හමු වෙමු.... බුදු සරණයි..ගුඩ් නයිට්. පරෙස්සමින් යන්න "
මට මතකයි, එයා හිනා වෙලා ඔළුව වැනුවා. මම බස් එකෙන් බැස්සා. නෑ බැස්සා නෙවෙයි පැන්නා. සතුට මෙච්චරයි කියලා කියා ගන්න බෑ.
" හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නෑටුවා....
එන හිමිදිරි සිහිලෙට සිතුවිලි කිති කෑවුනා....
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා....
මදහාස නගා ඇය හොරැහින් වගෙ බෑලුවා... "
කොහොමද මේ සිංදුව. හරියට මටම හදලා වගේ. මේකත් මුමුණ මුමුණ, මම ගෙදර ගියේ.. මහා යුද්දයකින් ජය ගත්ත වීර සෙන්පතියෙක්....වගේ, කියා ගන්න බැරි තරම් සතුටකින්..........................
දෑං ඉතිං.. .... මාගේ අනාගතය ඔබය... වර්තමානය ද ඔබය.....හැම දවසකම සතුටද.. ඔබමය...චංචලා.......!!!!
( මට නන්දා මාලිනියද, ඒ අතර සිහි විය )