
ලාහිරු කැන් දිගේ
පිය මනින අගේ
බලන් ඉන්න හිතුනා.....
කෝමල වත පුරා
චංචලාට..... මොකද වෙන්නේ කියලා ,මගේ අනිත් යහළුවන් වගේම, බ්ලොග් යහලුවනුත්නිතරම අහනවා. හරි නම් ඉතිං අහන්න ඕනේ...එහෙම නෙවෙයි. '' මට මොකද වෙන්නේ කියලයි ".... ඇයි ඉතිං ''පිළිබද සිතක් " ඇතිවෙලා තියෙන්නේ මටනේ. තාම එයා ගැන, මට මොනවත්ම කියන්න බෑ. එයා කෙලින්ම නොපෙන්නුවත්, මාත් එක්ක කතා කරන්න කැමැත්තෙන් ඉන්න බව නම් ෂුවර්. එත්..... ඒ හේතුවම, එයා මට කැමැතියි කියලා තීරණයකට එන්න තරම් ප්රබල සාධකයකුත් නෙමෙයිනේ (මට නම් ඒ ටිකත් , යන්තම් හිත හදාගන්න ප්රමාණවත්). මෙච්චර ලස්සන කෙල්ලෙක්ට, කොල්ලෙක් නැති වෙන්න පුළුවන්ද.. ඒ ගැන හිතට එන හැම වාරෙම, බලෙන්ම එම සිතුවිල්ල යටපත් කර ගන්නවා ඇරෙන්න, මට වෙන කරන්න පුලුවන් දෙයක් නෑ. එයා ගාව තියෙන්නේ, හරිම සුන්දර දඟකාර කමක්. කතාව, හිනාව ගමන-බිමන මොනතරම් ලස්සනයි ද?
මොන ඇඳුම ඇන්දත් ඒ රූප ශෝභාව එන්න එන්නම වැඩි කරනවා. ඉස්සර මං.. ඈතට වෙලා මේ රුව දිහා මොන තරම් නම්, හොරෙන් බලං ඉන්නවද? Train එකේ දී ඉඳලා හිටලා හරි, මගේ හිත් අහසට පායපු මේ සඳ වත කොයි තරම් මිහිරියාවක්.. මගේ හිතට එක් කලාද...? වචනයක් හෝ ඇය සමඟ දොඩමලු වන්නට මා කොතෙක් නම් පෙරුම් පිරුවාද... ඒ සියල්ල ජයගෙන, මට දැන්.... ඇය ගාව හිඳින්නට, කතාකරන්නට අවසර ඇත. ඒ හැම....... මා මහත් කැපකිරීම් සමුදායක් සිදුකොට ලබාගත් ඒවාය.
විටෙක මට, මින් එහාට කිසිවක් නොඅසා මිතුරු දමින් පමණක් ඇය හා වෙලී සිටින්නට ද සිතේ. මාගේ යෝජනාව ඇය කෙසේ පිළි ගනීදැයි තවමත් මට සිතා ගත නොහැකි නිසා... මට එසේ සිතනවා වන්නට ද පුලුවන. ඇය සතු මේ ලස්සන.. එක් වරක් නොව දහස් වරක් ... මා පසුපසට ඇද දමන්නට සමත්ව ඇත. මෙවැන්නක් අසන්නට ගොස්, මට ඇයව මුලු මනින්ම අහිමි වේ යැයි සිතෙන...අනියත බියකින් ද නිබඳ මා පීඩාවට පත්කරයි. දැනටමත් ඇයට පෙම් වතෙක් සිටී නම් ......!
අනේ මන්දා ... හැමදාම මෙහෙම හිත හිතා ඉඳලා දන්නෙම නැතුව නින්ද යනවා.
" අනේ කමක් නෑ. මට හිටගෙන යන්න පුළුවන්. ඔයා වාඩි වෙන්න"......... චංචලා එහෙම කියුවා
ආ.... තව දෙයක් කියන්න බැරි උනානේ. උදේටයි, හවසටයි train එකේනෙ මම ගියේ. ඒත් චංචලා උදේට බස් එකේ යනව කියල දැනගත්තහම, මටත් ඕන උනා බස් එකේ යන්න. එතකොට උදෙයි, හවසයි දෙකේම දකින්න පුළුවන් නෙ. ඒත්.... එයා යන බස් එක මොකක්ද කියලා දැනගන්න එක තමයි ප්රශ්නේ. මොකද... මම අහන්න කියලයැ. නිකන්වත් ඇහුවොත්...... ''ඇයි අහන්නෙ කියලා''..... හැංගෙන්න බිත්තර කටුවක් වත් හොයාගන්න වෙයි ... වෙන ලැජ්ජාවට. කමක් නෑ, ඕන දෙයක් උනාදෙන් කියලා, මම එයාලගෙ office time එකට සෙට් වෙන විදියට හා හා පුරා කියලා 7.30 ට යන බස් එකට නැග්ගා. අම්මෝ කට කපලා සෙනඟ. මං ඉතිං.. ඉස්සි ඉස්සී බස් එක සිසාරා බැලුවත්, එයා නම් පේන්න නෑ. ඒත් නදීයි.. තව මම නොදන්න එයාගෙ යාළුවෙකුයි නම් හිටියා. මට එයාල ලඟට යන්න බැරි තරමට සෙනඟ හන්දා, මම -ගුඩ් මෝනින්- කියලා, ඈත ඉදලා හිනා උනා.
එදාට එච්චරයි.
ඒත්...... මම ගේම් එක අතෑරීයේ නෑ. ඊලඟ දවසෙත් නැග්ගා, ඊට ටිකක් පහුවෙලා 7.50 ට යන බස් එකට. අදත් නෑ වගේ. බලාපොරොත්තු සේරම හේදිලා යනවා වගේ මට දැනුනා. මං ලඟම තිබුන සීට් එකේ වාඩි උනා.. දුකටම. ඒ අතරෙදි මට ආවා නියම අදහසක්. ගමනාන්තයටම ටිකට් අරගෙන තිබුනත්.... මම බැස්සා ඉස්සරහ හෝල්ට් එකෙන්. චංචලා ඊලඟ බස් එකේ හරි ආවොත්, හම්බවෙයිනෙ කියලා හිතාගෙන. උදේ පාන්දර විනාඩි 20 ක් 25 ක් අතර මඟ තියෙන, හෝල්ට් එකක චාටර් වෙනව කියන්නේ සුළු පටු දෙයක් ද.. ඒ අතරෙ දන්න අදුනන කෙනෙක් දැක්කොත් මල ජූලියයි. අපේ අයියා කාරයා රස්සාවට යන්නෙත් මේ පාරෙන්. මං හෝල්ට් එක ලඟ, ලයිට් කණුවට මුවාවෙලා ෂේප් එකේ උන්නා.
බස් එක ආවා. මාත් නැග්ගා. හිතට දැනුනු සතුට කියන්න බෑ. එයා ඉන්නවා.... ඉස්සරහ සීට් එකක වාඩි වෙලා. මම කලේ නොදැක්ක ගානට ඉස්සරහටම ගිහින්, එයා හිටිය පැත්තෙ සීට් එකක් ලඟ හිට ගන්න එක. ජනේලයෙන් එහා බලාගෙන ගියත්, මම දැක්කා... ටික වෙලාවකින් එයා මාව දකිනවා. හොරෙන් බලන් හිටිය උනත්, එයා පුදුමයෙන් ඇස් ලොකු කරගෙන මං දිහා බලපු විදිය.... මට තාම මතකයි. ඒ...ත් මම හිත තද කරගෙනම නොදැක්කා වගේ හිටියා.
මම එදා එහෙම කලේ............... මම එයාව follow කලා කියන එක, නොදැනෙන්නයි.
ඔහොම ටික දවසක් යනකොට, මට... එයා හරියටම යන බස් එක හොයා ගන්න පුළුවන් උනා. දැන් ඉතිං.. හවසට වගේම උදේටත්, කතා කර කර යන්න.... මට වාසනාව උදාවෙලා. ඒත්, ඔය බස් එක...හරියටම හොයා ගන්නකම්..... මං කාපු චාටර් එක දන්නෙ මායි, උඩ ඉන්න දෙවියොයි විතරයි. බස් කීයක නම් නැගලා. හෝල්ට් කීයක නම් බැහැලා තියෙනවද? සමහර දවසට එකම හෝල්ට් එකේ බහින්න බැරි හින්දා, ඊට ඉස්සරහ හරි.. පස්සෙ හරි තියෙන එකක, බහිනවා. සමහර දවසට.. මගදි නගින හෝල්ට් එකකදි එයා ඉන්න බස් එක අහුවෙනවා. ඒ වෙලාවට මෙයා ඇස් දෙකත් ලොකු කරන් මගෙන් අහනවා ''ඔයා කොහොමද මෙතෙනනින් නගින්නෙ කියලා'' එක දවසක, මම කියනවා....... මෙතනිනුත් මට යන්න පුළුවන්, බස් එකක් තියෙනවා. අද මං එනකොට ඒක ගිහින්නේ. ඒ හන්දා මේ බස් එකට නැග්ගා....කියලා.
එකම කතාව, හෝල්ට් කීපයකදි කියන්න බැරි හින්දා, තව දවසක කියනවා..... මම ආපු බස් එක කැඩුනා.............. යාළුවෙක් හම්බ වෙන්න ආවා................ වගේ පට්ටපල් බොරැ ටිකක්. පස්සෙ ..පස්සේ ... චංචලා එහෙම අහනකොට, මම කලේ,........ ලාවට පල් හිනාවක් එහෙම දාගෙන ''දන්නෙ නැද්ද ඉතිං... '' කියලා මග අරින එක. එතකොට ... එයාට කැමති දෙයක් හිතාගන්නේ නැතෑ.
ඒ වෙලාවට නදීයි... යාලුවො ටිකයි .. මගේ හොරයක් අල්ල ගත්තා වගේ, හිනා වෙනවා. මටත් මොකෝ මාත් චංචලාට පොඩ්ඩක් රිද්දන්නත් එක්ක ඒ විදියටම ඉන්නවා. එයාගේ මූනේ හිනාව අතුරුදහන් උනා...චංචලා ඒ බව නොපෙන්වන්න උත්සාහ කලත්... මම ඒක දැක්කා...එහෙම වෙනකොට මට දැනෙන සතුට...කොහොම වදන් වලට පෙරලන්නද.....හිහ්..හිහ්..හී...
ඔන්න ඔහොම... කට්ටක් කාලා, පැයක් හමාරක් පහුවෙලා තමයි, මගේ ව්යාපාරික ස්ථානයට ගොඩ උනේ...පහුගිය දවස් ටිකේම. මයි කාර්... මයි පැට්රෝල් හින්දම හොඳයි.
ඒ විතරක් ද?.....බස් ගාස්තුව 1: 3 අනුපාතයට ඉහල ගියා. ඇයි... හෝල්ට් තුනක වත් අඩුම ගානෙ බහිනවා, නගිනවා නේ.
සේරමත් හරි හැංගිමුත්තන් සෙල්ලම තමයි.... නියම. දන්න කියන අයගෙන් බේරෙන්න, දාපු ජිල්මාට් ටික කියලා වැඩක් නෑ. දවස් දෙකක්ම යාළුවෝ දෙන්නෙක්ට මාට්ටු උනා. බස් එක කැඩුනා කියලා ෂේප් වෙන්නයි හැදුවේ. එකෙක් අහනවා '' කෝ උඹ විතරයි නේ ඉන්නෙ ... බස් එකේ ආපු අනිත් අය කෝ '' කියලා.
Ashik නේද එතකොට.
නිල් අහසේ රැට පායන තරු......උදේටත්..... මට ඒ විදියටම පෙනුනා ...ඒ වෙලාවෙ නම්.
ඕං...... ඔය විදියට තමයි, දන්න සෙල්ලම් සේරම දාලා .... අති දැවන්ත මෙහෙයුමකට පස්සේ, හවසට වගේම උදේටත්, එයාව දකින්න... කතා කරන්න.. මං, මග පාදා ගත්තේ.
මං හරිම ආසාවකින් ඉන්නේ, චංචලා...කවදහරි මට.... බහ.... දුන්න දවසක, මම මේ.... කාපු, කටු ටික එයාට කියන්න. එතකොට එයා, ලස්සන ඇස්දෙක පුංචි කරලා හිනාවෙන විදිය...මේ දැනුත්, මට මැවිලා පේනවා... ඇත්තමයි.
ඔය විදියට බලන්නෙපා - මට දරන්න බෑ
නෙතු සඟලේ ඔය කතාව
මට තේරෙන් නෑ...
මා ගාවින් හිඳින්නෙපා - මට අවනත නෑ
අකිකරු කතා හැමදා
ඉවරයකුත් නෑ...
ඉස්සර විදිහට උන්නා නම්
ඔබ මා අඳුනන් නෑ තාමත්...
මගතොට රැකවල් දා රහසෙන්
ඔබ පසු පස යනවා තාමත්...
උදේ දකින රුව හවසත් හෙව්වා
අතොරක් නැති මහ සෙනඟ මැදින්...
නාඳුනනා එක දසුනක් වෙනුවෙන්
පුදුමයි මම දුක් වින්ද තරම්...
මතකය අමතක වූවා නම්
ඔබත් තව කෙනෙක් විතරක්මයි...
පෙර භවයක මට අමතක වී ගිය
රුවක් ඔබ ලඟක තිබුනාමයි....
අයිති වුනත් සඳ කලුවර අහසට
දුරැර උනේ පොලොවේ අඳුරයි.....
අයිතිය නොදන්න ඔය නෙතු සඟලින්
එළිය කලෙ මගේ පාලු හිතයි.....
අඳුර අරා සඳ විමනට වඩිනා - සරා සඳ අද නෑ
දෙනෙත් පුරා නෙත් අංජන මවනා - සොඳුරු රුව අද නෑ......
ළඟට වෙලා මට රස කර කියනා - කතා සරයත් නෑ
දෙනෙත් පුරාවට මං මඟ බැලුවට - ඔබ අද ආවෙත් නෑ.......
නෙතේ පැතුම ඔය රුවම වෙලා - ඔබම සොයනවා නම්
කියා ගන්න බැරි පැතුම් වැලක් ලඟ - මුව ගොළු වෙනවා නම්.....
නුදුටුව මොහොතෙදි හිතට මේතරම් - දුකක් දැනෙවා නම්
හිතාගන්න බැරි මේ අරුමය ළඟ - තවත් අසරණයි මං.........
අද රෑ මගේ දුක, මේ විදියට කවියකට නැගුනා. හේතුව තමයි පසුගිය දින කීපයේ වගේම.. තවත් දින ගානක් ,ඇය මා නෙත් මානයට නො එන බව.....අද දැන ගන්නට ලැබීම.
'' චංචලා ලෙඩ වෙලා "
එහෙමයි එයාගෙ යාළුවා -නදී- මට කිව්වේ.
" එහෙම තමයිනෙ හොඳ යාළුවො උනාම...ඉන්න ඕන. සැපේදි වගේම, දුකේදිත් ලඟ ඉන්න ඕන... හොයල බලන්න ඕන"
මුකුත් නොකියා හිටියොත්, නදී මොනවත් හිතයි කියල, හිතුන හින්ද ..මම එහෙම කිවුවත්, මගේ ඇස් වලට පවා කඳුළු ඇවිත් තිබුනා. මං ජනේලෙන් ඈත බලාගත්තෙ .. ඒව කාටවත් නොපෙනෙන්න.
මාත් ඉස්සරහ Station එකේ බහින හින්දා.. නැගිට්ටා.
ඇසිපිය හෙලනා හැම වාරේ - පිණි බිඳු විසිරෙනවා වාගේ
මදහස උතුරන මුව කමලේ - මල්පෙති පිබිදෙනවා වාගේ...........
රූසිරි වෑහෙන වන තුරුලේ - අමා සුවය රැදිලා වාගේ
සුවය සදන සුදු පිහාටුවේ - මගෙ හිත දැවටෙනවා රහසේ............
- මේ ආදරය.............මගේ හිත සසල කරන තරමක් -