
ගොඩක් දේවල් හිතේ තියන් හිටියා කවද හරි දවසක කියන්න.
හමු වෙන්නේ බොහොම සුලු වෙලාවකට විතරක් හන්දා, දිග කතාවක් කෙටි කරලා කියන්න මම ලෝබ උනා.
මට ඕන උනේ හුගක් ආදරෙන් ලගට වෙලා ඒ දේවල් එකින් එක කියන්නයි. ඒ හැම දෙයක් ම... "දවසක කියන්නම් කියලත්" මම එයාට කිව්වා.
ඒත් එයා කිව්වේ " අපෝ එච්චර දවස් ඉන්න බෑ. දැන් කියන්න කෝ " කියලා.
එහෙම කිව්වම මම හිතුවේ... එයාට මම කියන්න යන්නේ මොකක්ද කියලා... දැන ගන්න තිබුන කුතුහලයට එහෙම කිව්වා කියලයි.
ඒ දවස්වල නොකිව්වොත්, ඒ කතාව.. කවදාවත්ම එයාට අහන්න දවසක් නොලැබෙන බව දන්න හින්දා තමයි...එදා එයා එහෙම කියන්න ඇත්තේ කියලා, දැන් මම දන්නවා.
ඒ වගේම, ඒ කතාව කියන්නට හැකි වතාවරණයක්... මට ද... නැවත උදා නොවන බව සහසුද්දෙන්ම දන්නේ.. ඔබ පමනක් ම වන නිසා, එසේ පවසන්නට ඇති බවත් දැන් මා තහවුරු කරන් අවසන්.
------------------------------------------------------------
එනමුදු....සැගවූ සියල්ල මෙලෙස.. එලි වන තුරු.. නිහඩව උන්නේ මන්දැයි..කියා පමනක් - දිවා රෑ නොමැතිව - තවම මම කල්පනා කරමි.
------------------------------------------------------------
මේ අනෝරා වැසි නොවේ - මගෙ නෙතේ කදුලුයි
ගිගුම් දෙන ගිගුරුම් නොවේ - හිත අඩන අයුරුයි
හාත්පස ගණදුරු නොවේ - මගෙ ලොවේ අදුරුයි
මේ ලියන්නේ කවි නොවේ - සැගව ගිය අයුරුයි
------------------------------------------------------------
තනිව මේ මග පැමිණියේ - හිතින් මං විතර ද
මා ඇවැසි බව පැවසුවේ - මොහොතකට විතර ද
ලැබුණූ මේ දුක මහ මෙරයි - කෙලෙස විදවන්න ද
කදුලු සගවන් ආයෙමත් - කොහොම මං එන්න ද
------------------------------------------------------------
හදා ගන්නට කාලයක් - හිතට වත් නොතියා
සදක් යනවා සැගවිලා - අහසටත් නොකියා
ඔබ උරුම දින මෙපමනයි - අදහ ගනු බැරුවා
නමුදු ඉන්නෙමි හිනැහිලා - ඔබ ලගදි නොහඩා.