Monday, September 12, 2011

පාත්තරයට.....................සිගා වැඩීම...???

එදා ටිකක් විතර වැඩ අධික දවසක්. මට මතක විදිහට වෙලාව උදේ 11ට විතර ඇති.

"අයියේ...හාමුදුරු නමක් වැඩම කරලා ඉන්නවා" එහෙම කිව්වේ මගේ ව්‍යාපාරික ස්ථානයේ වැඩ කරන, තරූෂි. වෙනත් පාරිභෝගිකයන් කිප දෙනෙක්ගේ වැඩක් කරමින් හිටි හන්දා, මම කිව්වා……..

"ආ...එහෙනම් අනිත් අයව පොඩ්ඩක් තියලා, හාමුදුරුවන්ගේ වැඩේ ඉක්මනට කරලා දෙන්න....."

ආයෙම තරූෂි කියනවා.."මට පේන විදිහට නම් හාමුදුරුවො වැඩලා ඉන්නේ..දහවල් දානය බලාපොරොත්තුවෙන් වගේ" කියලා.

ඒක ඇහුවා විතරයි..මට කර කර හිටිය වැඩෙත් අමතක උනා.

"මාර වැඩේනේ ...දැන් මොකද කරන්නේ...." මට ඉබේටම කිය වුනා.

මොකද….. මගේ ව්‍යාපාරය, මුද්‍රණ කටයුතු සම්බන්ධ එකක් නිසා.....දානය වෙනුවෙන් දිය හැකි ආහාරයක් එහි නොමැති නිසා.


"කමක් නෑ....ලග තියෙන කඩේකින් …. මොනවා ‍හරි ගෙනත් දෙමු......."


කරමින් හිටි වැඩය තරූෂිට පවරලා, මම ගියා ...හාමුදුරුවන් ඉදිරියට.


මා දුටු විට... ඉතා සන්සුන් සිනාවකින් මුව සරසා ගත් උන් වහන්සේ....මෙතෙක් වෙලා, තම සිවුරු පටින් වසා ගෙන සිටි, පාත්තරය මා වෙතට පෑවා.

ඇත්තටම ...පාත්තරය තුල ඇති දෑ දුටු විට...මම පුදුමයෙනුත් පුදුමයට පත් උනා.


රුපියල් 100/=, 50/=, 20/=, 10/= කොල වලින් පාත්තරය පිරීලා තිබුනා.


මොනවත් හිතා ගන්න බැරි වුන නිසා , මම නැවතත් හැමුදුරුවන් දිහා බැලුවා.

කිසිවක් නොපැවසූ උන් වහන්සේ නැවතත් මා වෙතට පාත්තරය දිගු කලා.


ඒ වෙලාවේ මට තේරුනා හාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ ආහාර නොවෙයි, මුදල් කියලා.

අට පිරිකර වලින් එකක් වන ..ඒ වගේම දන් වලදන .... පාත්තරයට , මුදල් දමන්නට තරම් ශක්තියක් මා වෙත නොවූයෙන්, මම අතට ගත් මුදල පාත්තරයට නොදමා, හාමුදුරුවන්ගේ අතට දෙන්න හැදුවත් , උන් වහන්සේ සන් කලේ.... එම මුදල් පාත්තරයටම දමන ලෙසටයි.

අන් කල හැකි දෙයක් නැති නිසා, මාත් අනිත් අය කරපු විදිහටම පාත්තරයට මුදල් දැම්මා.

නැවතත් සිවුරු පටින් පාත්තරය වසා ගත් හාමුදුරුවන් වහන්සේ, සිහින් සිනාවක් පා ඉවතට පිය නැගුවා.

මේ සිදුවීම පිලිබද .... නිශ්චිත පහන් හැගුමක් ගොඩ නගා ගන්නට හැදුවත්, කලකිරීම හා පසුතැවිල්ලක් හැර අන් යමක් සිතට දැනුනේ නෑ.

ඇත්තටම...මෙය කාලෝචිත යැයි කියා සාධාරණය කල හැකිද....????