Friday, May 21, 2010

මේ තමයි මගේ ....ආදරය


හසඟන ඔබයි..හද විලම සැරසූ
පිපුනු මල් පරදා....
සඳවත ඔබයි..තුන් සිත එලිය කෙරූ
සහස් තරු පරදා...
හද විල කලඹා - තුන් සිතම කිති කැවූ
අන්සතු වරංගනා................

ලාහිරු කැන් දිගේ
පිය මනින අගේ
බලන් ඉන්න හිතුනා.....
කෝමල වත පුරා
පොරකන පෙම් රටා
දැහැන මුදා හැරියා......

රූසිරි රූ රටා
දෑසට නතු වෙලා
සෙනෙහස් වාන් දොරටු ඇරුනා......
සමනල තටු විදා
පහසක දැවටිලා
ස්වර්ණ වර්ණ සිහිනය දුටුවා.......
සිතම ආදරෙන් පුරවනා
ඔබ මගේ නොවෙයි - දනිමි මා
නමුදු සෙනෙහසේ - ඉමක් කොනක් නැතුවා......
මගේ ආදරය සඟවන්නම්
දෙලොවක ඔබ තනි නොකරන්නම්
සමුගන්නා තුරු - පුලුවන් විදිහට
මලක් වගේ ඔබ සුරකින්නම්....


Sunday, May 9, 2010

- සින්නක්කරම..මගේ නොවේ -




මෙතෙක් සිදුවූ සියල්ලම, මා, සිත තුලම සඟවා ගත්තා මිස, කිසිවෙකුට කීමට නොගියෙමි . සියලු කටයුතු නිසියාකාරව, සිදු කිරීමට මා අපොහොසත් වුවද, සිදු කල යුතු බොහෝ දෑ, යම් ප්‍රමාණයකින් හෝ කරගෙන යාමට සමත් විය. අතිශය වෙහෙස කර කාල පරිච්ඡේදයක්, මෙසේ ගෙවී යන්නේ, හදවතට ද නොනිමි වේදනාවක් එක් කරමිනි.

හරියටම මාසයකට වැඩි කාලයක් Post එකක් ලිවීමට නොහැකි තරමටම, මා මානසිකව විඩාවට පත්වී තිබුණි. අනිකුත් සහෘදයන්ගේ, බ්ලොග් සටහන් සෑහෙන ප්‍රමාණයක් ද, ඒ අතර තුර මට, මග හැරී තිබුණි. සමහර ඒවා කියවුවද ‍Comments දමන්නට නොහැකි විය. තවත් සමරහක් සහමුලින්ම, මට.. මග හැරුනි. ඒ සියල්ලටම, මේ සටහන කියවූවායින් අවසන....... ඔබ සැවොම... මට සමාව දෙන බව මම දනිමි. දිගු කාල පරිච්‍ඡේදයක සිදු වු, සිදුවීම් පෙලක්....මෙසේ ලඝු කොට දක්වමි.

සිරිත් පරිදි ....... හැම දවසකම මට, ඇය හමු විය. නොබෝ දිනකින්ම, අපි හොඳ යහලුවන් බවට පත් වූ වෙමු. අප එකතු වූ විට, බස් රථය සිනා සාගරයක් බදු විය. එවිට, මට නිරත්තරයෙන්ම, මගේ පාසල් අවධිය සිහියට නැගුනේ.... එකල ද..... මෙලෙසින්ම, පාසල් බස් රථය සිනහවෙන්, දෙවනත් කල නිසාය. ලස්සන පාසල් සිසුවියක දුටු විට, අප ඇයව සිනහ ගස්සන්නට තරඟ කළෙමු. ඒ සිදුවීම්, මිහිරි සිතුවමක් මෙන්, එකින් එක, මතක් කරවන්නට, චංචලා සමඟ බස් රථයේ රැදුනු හැම මොහොතක්ම සමත් විය.

නොසිතූ මොහොතක.. චංචලාගේ හොඳම යෙහෙලියන් වූ.. නදීට හා විවේකාට ටිකක් දුර පලාතක පිහිටි, ශාඛා දෙකකට මාරුවීම් ලැබුණි. ඉන් අනතුරුව, බස් රථයේ යාලුවන් ලෙස ඉතිරි වූයේ මාත්, චංචලා පමණි. යෙහෙලියන්ගේ මෙම හදිසි මාරුව, චංචලාට මෙන්ම මට ද, මහත් තනිකමක් ගෙන දෙන්නට ‍හේතු විය.

වෙනදා.... පොදු මාතෘකා රැගත් කතා බහකට සීමා වූ අපේ ඇසුර, පෞද්ගලික ජීවිතයේ සිදුවීම් දක්වා රැගෙන යාමට හේතු වූයේ, බස් රථයේ අප දෙදෙනා පමණක් තනි වීමය. මගේ ව්‍යාපාරික කටයුතු මෙන්ම, ඇගේ කාර්යාලයේ වැඩ කටයුතු ද ඒ අතර මුල් තැන ගන්නා ලදි. අපි, අපේ ප්‍රශ්න එකිනෙකා හා බෙදා හදා ගන්නට පුරුදු වීමූ.

මට අබෝධ වූ පරිදි ... ඇය මට වඩා බොහෝ සෙයින්,වෙනස් වූ.... ගති පැවතුම් ඇති, තැනැත්තියක වුවාය. ඇගේ ඇසුරේ දී , මට අපැහැදිලි තැන් රැසක් ද හමු විය. නමුත්....... ඒවාට පිළිතුරු ද නොවූවාය. මා ඇයට බැදි සෙනෙහසම......මේවා, හාරා අවුසන්න යෑමට ඉඩ නොදුනි.

මා.. කොතරම් ඇය ගැන උනන්දු උවද... ඇය ඒ බව නොදන්නවා සේ උන්නාය. නැතිනම් ඇය ඇත්තටම ඒ බව නොදැන හිටියා වන්නට ද පුලුවන. ඇයව, කෙසේ හෝ දුරකථන ඇමතුමකට සම්බන්ධ කිරීමට මා කොතෙක් උත්සාහ කලද, ඒ සෑම වරකම ඇය නිහඬ වූවාය. දුරකතනය නාද වී .......... අවසානයේ ඇමතුම විසන්දි වන තුරුම , ඇය දුරකථනයට පිළිතුරු නොදුන්නාය. මෙය, මට... මහත් ගැටලුවක් විය. අවසානයේ දී, මම ඉතා සැහැල්ලු ලෙස ඇයගෙන් ඒ පිළිබඳව විමසද්දී..... ඇය කතාව වෙනතකට යොමු කොට, එම ප්‍රශ්නයෙන් මඟහැර ගියාය. එසේ සිදුවූ වාර කිහිපයක්ම විය. අවසානයේ දී.. ඇයට දුරකථන ඇමතුම් දීමෙන්, මම වැලකී සිටියෙමි. ඒ......... කුමන හෝ කරුණක් මත , ඇය අකමැති දෙයක්, මා අතින් සිදුවන බව , මා තේරුම් ගත් නිසාය. ඇයට ඉඩ දී , බලා සිටින්නෙමියි.....මා තීරණය කලාය. මගේ අදහස...... ඇයට පැවසිම ඒ නිසාවෙන්..... දිනෙන් දින කල් යන ලදි..

එදින සිකුරාදා දිනයකි.

" ගගන…….. මට හිතෙනවා මාත් Transfer කරයි ද කියලා "

" ඇයි….. ඔයාට එහෙම හිතෙන්නේ.." හිනෙන් වත් දැක්කද එ‍හෙම වෙනවා "
සිනා වෙවී...... මම ඇහුවා .

" අනේ නෑ..... ගගන... නදී, වගේම මාත් දැන් අවුරුදු 2 ක්ම මේ Branch එකේ නේ..
ඉතින් ... ඒකයි මටත් බය "

" ආ... ඒක ද ?
... ඉතිං .... ඔයාට පුළුවන් නේ චංචලා...... Government Job එකකට යන්න.
ඒවායේ ඔය හිතු මනාපෙට දේවල් කරන්නේ නැ..... නේ "
මං, ගැසට් එක බලලා Vacancies ගැන ඔයාට කියන්නද.... "

ඉන් ඉක්බිතිව පැවතියේ මද නිහැඩියාවකි....

"මොකද සද්දයක් නැත්තේ... ඔයා කැමති නැද්ද Government Service එකකට …?

" වැඩක් නෑ ............ ගගන...
මැරි කරායින් පස්සේ Job එකක් කරන්න .... මට අදහසක් නෑ "

" ඇයි ...........ඒ... " මම වික්ෂිප්තව ඇසුවෙමි

මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ...................... වදන් වැල ...................... ???????????

"මාව, මැරිකරන්න ඉන්න කෙනා, කැමති නෑ.... මම Job එකක් කරනවට, ගගන "
මේ වචන ටික ඇය තෙපලුවේ, මොන තරම් අපහසුවකින් දැයි, මම දුටුවෙමි.....

අනේ මම අසරණ උන තරම්............. එදා........
වීදුරුවක් මතට වැටුනු, වීදුරු බෝල වගේ, මගේ හිතයි.....ප්‍රාර්ථනාවනුයි , ඉරි තලලා, කෑලි ...කෑලි වලට කැඩුනා.
ජනෙල් අතරින්, එහාට විහිදුනු, මගේ නෙත පුරාවට, පිරුණු කඳුළු, චංචලා දැක්කා ද නොදැක්කාදැයි..........අද ද .... මම නොදනිමි.

" ආ.. ඇත්තද චංචලා.....එහෙම නම් ඉතිං මොනවා කරන්න ද..."
ඒ මොහොතේ.. මට වචන සිර වූවාද... නොඑසේ නම්, මගේ හඬ ගොලු වුවා ............. දැයි සිතා ගන්නට බැරි විය.

මගේ, නෙත් අංජන මවනා...සිතුවම.....මගේ සරා සඳ ....ඇය - අන්සතු බව ,මට කියා දුන්නාය.
තවත් දුරක් ...ඇය සමග එන්නට එ...පාපාපාපාපාපා යයිද......ඇය, මට මේ කියන්නේ.....??????

ගෙවුනු සමයේ, ඔයාගේ නිහඬතාවන්ට....මග හැරීම් වලට , හේතුව... දැන් මම දන්නවා...චංචලා.
සමහර වෙලාවට... මේක, මට කියා ගන්න බැරුව ... ඔයා හුඟක් දුක් විඳින්නත් ඇති.

වරද මගේමයි......ඔයාගේ නෙවෙයි.....දෙව්දුවේ...
අන්සතු බව නොදැන ....ඔයාට... ආදරය කලාට ...මට සමා වෙන්න...ආදර චංචලා.
-
-
-
-
හිතා ගන්න බැරි - ආදරයක් වී - ඔබ ආවා
කියා ගන්න බැරි - සෙනෙහසකින් සිත - ගොලු වුවා..
දරා ගන්න බැරි - මහ මෙරකට වැඩි - දුක දීලා
බෙදා ගන්න බැරි - ආදරයක් ලඟ..සිත හැඬුවා.......

සරා සඳට - පායා එන්නයි - නිල් අහස උනේ
වලා පෙලක - දේදුන්නක අසිරිය - නෑ දුටුවේ..
මං මග බැලුවට- තරු වටකරගෙන - රෑ යාමේ
මගේ සරා - සඳ පායනවලු - කලුවර අහසේ........

දුරින් හිඳින්නම්..ඉඳ හිට විත්- ඔබ හමුවන්නම්
සිතේ ආදරය - තවත් නොපෙන්වා - සඟවන්නම්..
සිතුවම වී - රෑ සිහිනය තවරා - ඇ‍ඳෙනවා නම්
කොලෙම් තොටදි - මම - තනියම අඬලා - නිදියන්නම්..........

කලුවර අහසට - සින්නක්කරවම - අයිති උනු
නොපැතූ මොහොතක - මා නෙත් අභිමුව - එළිය උනු..
හිරු , තරු , දේදුනු - වලාකුලු වලට - තුරුලු උනු
සඳවතියේ ........ මම තාම ආදරෙයි.......මගේ නො උනු.